8. 2. 8. 10.
කුසීතවත්‍ථු සූත්‍රය
[සැවැත් නුවර නිදාන යි]
මහණෙනි, මේ කුසීත වස්තූහු (කම්මැලිකමට කරුණු) අටෙකි. කවර අටක්ද යත්:
1. මහණෙනි, මෙහි භික්‍ෂුව විසින් කටයුත්තක් කළ යුතු වේද, ඔහුට මෙසේ සිතක් වෙයි. ‘මා විසින් කටයුත්තක් කළ යුතු වන්නේය’ කියාය. ‘කටයුත්ත කරන මගේ කය අනේ වෙහෙස වෙයි. එහෙයින් මම හොවිමි (හාන්සි වෙමි.)’ යි හේ හොවියි. නොපැමිණියට පැමිණීමටද, අවබෝධ නොකළ දේ අවබෝධ කිරීමටද, අත් නොදුටු දෙය අත් දැකීමටද, වීර්‍ය්‍යය පටන් නොගනීද, මහණෙනි, මෙය පළමුවන කුසීත වස්තුවය.
2. මහණෙනි, නැවතද වනාහි භික්‍ෂුව විසින් කටයුත්ත කරණ ලද්දේ වේද, ඔහුට මේ සිත වෙයි. ‘මම වනාහි කළයුත්ත කෙළෙමි. කටයුත්ත කරණ මගේ කය වෙහෙසවිය. අනේ මම දැන් හාන්සි වෙමි,’ (කියාය.) හේ හාන්සි වෙයි. වීර්‍ය්‍යය පටන් නොගනී. නොපැමිණියට පැමිණීමටද, අවබෝධ නොකළ දේ අවබෝධ කිරීමටද, අත් නොදුටු දෙය අත් දැකීමටද, වීර්‍ය්‍යය පටන් නොගනී. මහණෙනි, මෙය දෙවන කුසීත වස්තුවය.
3. මහණෙනි, නැවතද භික්‍ෂුව විසින් මග යා යුතු වෙයි. ඔහුට මේ සිත වෙයි. ‘මා විසින් මග යා යුතු වන්නේය,’ (කියාය.) මග යන මාගේ කය අනේ වෙහෙස වෙයි. එහෙයින් මම හොවිමි (හාන්සි වෙමි.)’ යි හේ හොවියි. නොපැමිණියට පැමිණීමටද, අවබෝධ නොකළ දේ අවබෝධ කිරීමටද, අත් නොදුටු දෙය අත් දැකීමටද, වීර්‍ය්‍යය පටන් නොගනීද, මහණෙනි, මෙය තුන්වන කුසීත වස්තුවය.
4. මහණෙනි, නැවතද වනාහි භික්‍ෂුව විසින් මග යන ලද්දේය. ඔහුට මේ සිත වෙයි. මම මග ගියෙමි. මග යන මගේ කය අනේ වෙහෙස වෙයි. එහෙයින් මම හොවිමි (හාන්සි වෙමි.)’ යි හේ හොවියි. නොපැමිණියට පැමිණීමටද, අවබෝධ නොකළ දේ අවබෝධ කිරීමටද, අත් නොදුටු දෙය අත් දැකීමටද, වීර්‍ය්‍යය පටන් නොගනීද, මහණෙනි, මෙය සතරවන කුසීත වස්තුවයි.
5. මහණෙනි, නැවතද වනාහි භික්‍ෂුව ගම හෝ නියම් ගම හෝ පිඬු පිණිස හැසිරෙන්නේ ඔහුට ප්‍රණීත හෝ, කටුක හෝ, භෝජනයක් ඇති පමණින් සම්පූර්‍ණව නොලැබේද, ඒ මගේ කය ක්ලාන්තය. වලංගු නැත. කය අනේ වෙහෙස වෙයි. එහෙයින් මම හොවිමි (හාන්සි වෙමි.)’ යි හේ හොවියි. -පෙ- අත් නොදුටු දෙය අත් දැකීමටද, වීර්‍ය්‍යය පටන් නොගනීද, මහණෙනි, මෙය පස්වන කුසීත වස්තුවයි.
6. මහණෙනි, නැවතද වනාහි භික්‍ෂුව ගම හෝ නියම් ගම හෝ පිඬු පිණිස හැසිරෙන්නේ ඔහුට ප්‍රණීත හෝ, කටුක හෝ, භෝජනයක් ඇති පමණින් සම්පූර්‍ණව ලැබේද, ඒ මගේ කය බරය, වලංගු නැත, පෙඟුන මෑ ඇට ලොඩක් මෙනැයි සිතමි. කය අනේ වෙහෙස වෙයි. එහෙයින් මම හොවිමි (හාන්සි වෙමි.)’ යි හේ හොවියි. -පෙ- අත් නොදුටු දෙය අත් දැකීමටද, වීර්‍ය්‍යය පටන් නොගනීද, මහණෙනි, මෙය සයවන කුසීත වස්තුවයි.
7. මහණෙනි, නැවතද වනාහි භික්‍ෂුවට යම්තම් ලෙඩක් ඇතිවූයේ වෙයි. ඔහුට මෙසේ සිතක් වෙයි. ‘මට වනාහි මේ හාන්සිවීමට සුදුසුවූ යම්තම් ආබාධයක් උපන්නේය. කය අනේ වෙහෙස වෙයි. එහෙයින් මම හොවිමි (හාන්සි වෙමි.)’ යි හේ හොවියි. -පෙ- අත් නොදුටු දෙය අත් දැකීමටද, වීර්‍ය්‍යය පටන් නොගනීද, මහණෙනි, මෙය සත්වන කුසීත වස්තුවයි.
8. මහණෙනි, නැවතද වනාහි භික්‍ෂු තෙම ලෙඩින් නැගිටියේ වෙයි. ගිලන්කමින් ලඟදී නැගිටියේ වෙයි. ‘ඒ මගේ ඇඟ දුබලය. වලංගු නැත. කය අනේ වෙහෙස වෙයි. එහෙයින් මම හොවිමි (හාන්සි වෙමි.)’ යි හේ හොවියි. නොපැමිණියට පැමිණීමටද, අවබෝධ නොකළ දේ අවබෝධ කිරීමටද, අත් නොදුටු දෙය අත් දැකීමටද, වීර්‍ය්‍යය පටන් නොගනීද, මහණෙනි, මෙය අටවන කුසීත වස්තුවයි.
මහණෙනි, මේ කුසීත වස්තු අටය.