8. 2. 8. 8.
ඛිප්පනීසන්ති සූත්රය
[සැවැත් නුවර නිදාන යි]
එකල්හි වනාහි ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේ ‘ඇවැත් භික්ෂූනි,’ යි භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂූහු ‘ඇවැත්නි,’ යි ආයුෂ්මත් ශාරීපුත්රයන් වහන්සේට පිළිතුරු දුන්හ. ආයුෂ්මත් ශාරීපුත්රයන් වහන්සේ මෙය වදාළහ: “ඇවැත්නි, කරුණු සයකින් යුක්ත වූ භික්ෂුව තමාට සුදුසු (අලං) වෙයි, අනුන්ට ද සුදුසු වෙයි. කවර සයකින් ද යත්:
මෙහි ඇවැත්නි, භික්ෂුව කුසල ධර්මයන්හි වහා වැටහෙන නුවණ ඇත්තේ (ඛිප්පනිසන්තී) වෙයි, අසන ලද ධර්මයන් දරන ස්වභාව ඇත්තේ වෙයි, දරන ලද ධර්මයන්ගේ අර්ථ විමසන්නේ වෙයි. අර්ථය දැන ධර්මය දැන ධර්මානුධර්ම ප්රතිපන්නව වෙසෙයි. යහපත් වචන ඇත්තේ වෙයි, යහපත් වචන උච්චාරණය කරන්නේ වෙයි, දෝෂ රහිත වූ විවෘත වූ අර්ථය පැහැදිලි කරන්නා වූ නාගරික වචනයෙන් යුක්ත වෙයි, සබ්රහ්මචාරීන් වහන්සේලාට කරුණු දක්වන්නේ සමාදන් කරවන්නේ තෙද ගන්වන්නේ සතුටු කරවන්නේ වෙයි.
ඇවැත්නි, මේ ධර්ම සයෙන් යුක්ත වූ භික්ෂුව තමාට ද සුදුසු වෙයි, අනුන්ට ද සුදුසු වෙයි.
ඇවැත්නි, ධර්ම පසකින් යුක්ත වූ භික්ෂුව තමාට සුදුසු වෙයි, අනුන්ට ද සුදුසු වෙයි. කවර පසකින් ද යත්:
මෙහි ඇවැත්නි, භික්ෂුව කුසල ධර්මයන්හි වහා වැටහෙන නුවණ ඇත්තේ නොම වෙයි. (එහෙත්) අසන ලද ධර්මයන් දරන ස්වභාව ඇත්තේ වෙයි, දරන ලද ධර්මයන්ගේ අර්ථ විමසන්නේ වෙයි, අර්ථය දැන ධර්මය දැන ධර්මානුධර්ම ප්රතිපන්නව වෙසෙයි. යහපත් වචන ඇත්තේ ද වෙයි ...පෙ... සබ්රහ්මචාරීන් වහන්සේලාට කරුණු දක්වන්නේ ...පෙ... සතුටු කරවන්නේ වෙයි.
මහණෙනි, මේ ධර්ම පසෙන් යුක්ත වූ භික්ෂුව තමාට සුදුසු වෙයි, අනුන්ට ද සුදුසු වෙයි.
ඇවැත්නි, ධර්ම සතරකින් යුක්ත වූ භික්ෂුව තමාට සුදුසු වෙයි, අනුන්ට සුදුසු නො වෙයි. කවර සතරකින් ද යත්:
මෙහි ඇවැත්නි, භික්ෂුව කුසල ධර්මයන්හි වහා වැටහෙන නුවණ ඇත්තේ වෙයි, අසන ලද ධර්මයන් දරන ස්වභාව ඇත්තේ වෙයි, දරන ලද ධර්මයන්ගේ අර්ථ විමසන්නේ වෙයි, අර්ථය දැන ධර්මය දැන ධර්මානුධර්ම ප්රතිපන්නව වෙසෙයි. (නමුත්) යහපත් වචන ඇත්තේ නො වෙයි ...පෙ... කරුණු දක්වන්නේ නො වෙයි ...පෙ... සබ්රහ්මචාරීන් වහන්සේලාට. ඇවැත්නි, මේ ධර්ම සතරෙන් යුක්ත වූ භික්ෂුව තමාට සුදුසු වෙයි, අනුන්ට සුදුසු නො වෙයි.
ඇවැත්නි, ධර්ම සතරකින් යුක්ත වූ භික්ෂුව අනුන්ට සුදුසු වෙයි, තමාට සුදුසු නො වෙයි. කවර සතරකින් ද යත්:
මෙහි ඇවැත්නි, භික්ෂුව කුසල ධර්මයන්හි වහා වැටහෙන නුවණ ඇත්තේ වෙයි, අසන ලද ධර්මයන් දරන ස්වභාව ඇත්තේ වෙයි. (නමුත්) දරන ලද ධර්මයන්ගේ අර්ථ විමසන්නේ නො වෙයි, අර්ථය දැන ධර්මය දැන ධර්මානුධර්ම ප්රතිපන්නව නො වෙසෙයි. (එහෙත්) යහපත් වචන ඇත්තේ ද වෙයි ...පෙ... කරුණු දක්වන්නේ ද වෙයි ...පෙ... සබ්රහ්මචාරීන් වහන්සේලාට. මහණෙනි, මේ ධර්ම සතරෙන් යුක්ත වූ තැනැත්තේ අනුන්ට සුදුසු වෙයි. තමාට සුදුසු නො වෙයි.
ඇවැත්නි, ධර්ම තුනකින් යුක්ත වූ භික්ෂුව තමාට සුදුසු වෙයි, අනුන්ට සුදුසු නො වෙයි. කවර තුනකින් ද යත්:
මෙහි ඇවැත්නි, භික්ෂුව කුසල ධර්මයන්හි වහා වැටහෙන නුවණ ඇත්තේ නොම වෙයි, (නමුත්) අසන ලද ධර්මයන් දරන ස්වභාව ඇත්තේ වෙයි. දරන ලද ධර්මයන්ගේ අර්ථ විමසන්නේ වෙයි, අර්ථය දැන ධර්මය දැන ධර්මානුධර්ම ප්රතිපන්නව ද වෙසෙයි. (එහෙත්) යහපත් වචන ඇත්තේ නො වෙයි ...පෙ... කරුණු දක්වන්නේ නො වෙයි සබ්රහ්මචාරීන් වහන්සේලාට. ඇවැත්නි, මේ ධර්ම තුනෙන් යුක්ත වූ භික්ෂුව තමාට සුදුසු වෙයි, අනුන්ට සුදුසු නො වෙයි.
ඇවැත්නි, ධර්ම තුනකින් යුක්ත වූ භික්ෂුව අනුන්ට සුදුසු වෙයි. තමාට සුදුසු නො වෙයි. කවර තුනකින් ද යත්:
මෙහි ඇවැත්නි, භික්ෂුව කුසල ධර්මයන්හි වහා වැටහෙන නුවණ ඇත්තේ නොම වෙයි, අසන ලද ධර්මයන් දරන ස්වභාව ඇත්තේ වෙයි. (නමුත්) දරන ලද ධර්මයන්ගේ අර්ථ විමසන්නේ නො වෙයි. අර්ථය දැන ධර්මය දැන ධර්මානුධර්ම ප්රතිපන්නව නො වෙසෙයි, (එහෙත්) යහපත් වචන ඇත්තේ වෙයි ...පෙ... කරුණු දක්වන්නේ ද වෙයි ...පෙ... සබ්රහ්මචාරීන් වහන්සේලාට. මහණෙනි, මේ ධර්ම තුනෙන් යුක්ත වූ භික්ෂුව අනුන්ට සුදුසු වෙයි, තමාට සුදුසු නො වෙයි.
ඇවැත්නි, ධර්ම දෙකකින් යුක්ත වූ භික්ෂුව තමාට සුදුසු වෙයි, අනුන්ට නො වෙයි. කවර දෙකකින් ද යත්:
මෙහි ඇවැත්නි, භික්ෂුව කුසල ධර්මයන්හි වහා වැටහෙන නුවණ ඇත්තේ නොම වෙයි. අසන ලද ධර්මයන් දරන ස්වභාව ඇත්තේ වෙයි. දරන ලද ධර්මයන්ගේ අර්ථ විමසන්නේ වෙයි, අර්ථය දැන ධර්මය දැන ධර්මානුධර්ම ප්රතිපන්නව ද වෙසෙයි. (එහෙත්) යහපත් වචන ඇත්තේ නො වෙයි ...පෙ... කරුණු දක්වන්නේ නො වෙයි ...පෙ... සබ්රහ්මචාරීන් වහන්සේලාට. ඇවැත්නි, මේ ධර්ම දෙකෙන් යුක්ත වූ භික්ෂුව තමාට සුදුසු වෙයි, අනුන්ට සුදුසු නො වෙයි.