8. 2. 8. 5.
සංඛිත්ත අට්ඨ සම්පදා සූත්‍රය
[සැවැත් නුවර නිදානයි]
75. “මහණෙනි, මේ සම්පත් අටකි. කවර අටක්ද? උත්සාහ සම්පතය, ආරක්‍ෂා සම්පතය, කල්‍යාණ මිත්‍රයන් ඇති බවය, සමවූ ජීවිකාවය, ශ්‍රද්ධා සම්පතය, ශීල සම්පතය, ත්‍යාග සම්පතය, ප්‍රඥා සම්පතය, මහණෙනි, මේ සම්පත් අටයි.
1. අප්‍රමාද ඇත්තේ, කර්‍මාන්ත කරණ තන්හි උට්ඨාන වීර්‍ය්‍යයෙන් යුක්තවුයේද, කර්‍මාන්ත විධාන කිරීමෙන් යුක්තවූයේ වේද, ජීවිකා වෘත්තිය සමකොට පවත්වාද, රැස් කරණ ලද්දක් රක්‍ෂා කෙරේද,
2. ශ්‍රද්‍ධා ඇත්තේද, ශීලයෙන් යුක්තවූයේද, වචන දන්නේද, පහවූ මසුරු මල ඇත්තේද, පරලෙව්හි විපාක දීම් ඇති, සැපයට හේතුවූ මාර්ගය නිතර පිරිසිදු කෙරේද?
3. මෙසේ මේ අට කාරණයෝ ගෘහ වාසයෙන් යුක්තවූ සැදැහැවතාහට දෙලොව සැප ගෙන දෙන්නේයයි සත්‍ය නම් ඇති ශාස්තෲන් වහන්සේ විසින් වදාරණ ලද්දාහුය.
4. මෙසේ ගෘහස්තයන්ට ත්‍යාගය තෙමේද මේ ආත්මයෙහි සැප පිණිසද පරලොව සැප පිණිසද පවතී. මේ සෙසු පිනද ප්‍රකාරයෙන් වැඩේයයි වදාළ සේක”
8. 2. 8. 6.
විත්‍ථත අට්ඨ සම්පදා සූත්‍රය
[සැවැත් නුවර නිදානයි]
76. “මහණෙනි, මේ සම්පත් අටකි. කවර අටක්ද? උත්සාහ සම්පතය, ආරක්‍ෂා සම්පතය, කල්‍යාණ මිත්‍රයන් ඇති බවය, සමවූ ජීවිකාවය, ශ්‍රද්ධා සම්පතය, ශීල සම්පතය, ත්‍යාග සම්පතය, ප්‍රඥා සම්පතය, මහණෙනි, මේ සම්පත් අටයි.
1. මහණෙනි, උත්සාහ සම්පත්තිය කවරේද?
මහණෙනි, මේ ලෝකයෙහි කුලපුත්‍ර තෙමේ යම් කර්මාන්තයකින්, ගොවිතැනින්, වෙළඳාමෙන් හෝ, ගව පාලනයෙන් හෝ, ධනු ශිල්පයෙන් හෝ, රාජ පුරුෂ භාවයෙන් හෝ, ශිල්පයකින් හෝ ජීවිකාව කරයිද, එහි දක්‍ෂවූයේ, කම්මැලි නොවූයේ, ඊට උපාය සිතීමෙන් යුක්තවූයේ වේද, කරන්නට සුදුසුවූයේ, නියම කිරීමට සුදුසුවූයේ වේද, මහණෙනි, මේ උත්සාහ සම්පත්තියයයි කියනු ලැබේ.
2. මහණෙනි, ආරක්‍ෂා සම්පත්තිය කවරේද?
මහණෙනි, මේ ලෝකයෙහි කුල පුත්‍රයාට උඨාන වීර්‍ය්‍යයෙන් ලත්, අතේ ශක්තියෙන් පුරුදු ඩහදිය සෙලවුන, ධාර්මිකවූ දැහැමින් ලත් යම් වස්තු කෙනෙක් ඇද්ද, ඒ වස්තු කිමෙක්ද, රජවරු නොගන්නාහු නම්, සොරු නොගන්නාහු නම්, ගින්නෙන් විනාශ නොවන්නේ නම්, දියට ගසාගෙන නොයන්නාහු නම්, බලෙන් දඩ වශයෙන් නොගන්නාහු නම් යෙහෙකැයි ආරක්‍ෂා කරයි. මහණෙනි, මේ ආරක්‍ෂා සම්පදාවයයි කියනු ලැබේ.
3. මහණෙනි, කළ්‍යාණ මිත්‍ර බව කවරේද,
මහණෙනි, මේ ලෝකයෙහි කුලපුත්‍රතෙම යම් ගමක හෝ නියම් ගමක හෝ වාසය කරයිද, ඒ යම් ශ්‍රද්‍ධාවෙන් යුත්, ශීලයෙන් යුත්, ත්‍යාගයෙන් යුත්, ප්‍රඥාවෙන් යුත්, ගෘහපතියෙක් හෝ, ගෘහපති පුත්‍රයෙක් හෝ, වැඩිමහළු ස්වභාව ඇති තරුණයෙක් හෝ, වැඩිමහළු ස්වභාව ඇති වැඩිමහල්ලෙක් හෝ වෙත්ද, ඔවුන් සමග ආශ්‍රය කරයිද, සාකච්ඡා කරයිද, කථාවට පැමිණෙයිද, යම්බඳු ශ්‍රද්‍ධාවන්තයන්ගේ ශ්‍රද්‍ධාවට අනුව හික්මෙයිද, යම්බඳු සිල්වතුන්ගේ ශීලයට අනුව හික්මෙයිද, යම්බඳු ත්‍යාගවන්තයන්ගේ ත්‍යාගයට අනුව හික්මෙයිද, යම්බඳු ප්‍රඥාවන්තයන්ගේ ප්‍රඥාවට අනුව හික්මෙයිද, මහණෙනි, මේ කළ්‍යාණ මිත්‍ර භාවයයි.