8. 2. 8. 6.
විත්ථත අට්ඨ සම්පදා සූත්රය
[සැවැත් නුවර නිදානයි]
76. “මහණෙනි, මේ සම්පත් අටකි. කවර අටක්ද? උත්සාහ සම්පතය, ආරක්ෂා සම්පතය, කල්යාණ මිත්රයන් ඇති බවය, සමවූ ජීවිකාවය, ශ්රද්ධා සම්පතය, ශීල සම්පතය, ත්යාග සම්පතය, ප්රඥා සම්පතය, මහණෙනි, මේ සම්පත් අටයි.
1. මහණෙනි, උත්සාහ සම්පත්තිය කවරේද?
මහණෙනි, මේ ලෝකයෙහි කුලපුත්ර තෙමේ යම් කර්මාන්තයකින්, ගොවිතැනින්, වෙළඳාමෙන් හෝ, ගව පාලනයෙන් හෝ, ධනු ශිල්පයෙන් හෝ, රාජ පුරුෂ භාවයෙන් හෝ, ශිල්පයකින් හෝ ජීවිකාව කරයිද, එහි දක්ෂවූයේ, කම්මැලි නොවූයේ, ඊට උපාය සිතීමෙන් යුක්තවූයේ වේද, කරන්නට සුදුසුවූයේ, නියම කිරීමට සුදුසුවූයේ වේද, මහණෙනි, මේ උත්සාහ සම්පත්තියයයි කියනු ලැබේ.
2. මහණෙනි, ආරක්ෂා සම්පත්තිය කවරේද?
මහණෙනි, මේ ලෝකයෙහි කුල පුත්රයාට උඨාන වීර්ය්යයෙන් ලත්, අතේ ශක්තියෙන් පුරුදු ඩහදිය සෙලවුන, ධාර්මිකවූ දැහැමින් ලත් යම් වස්තු කෙනෙක් ඇද්ද, ඒ වස්තු කිමෙක්ද, රජවරු නොගන්නාහු නම්, සොරු නොගන්නාහු නම්, ගින්නෙන් විනාශ නොවන්නේ නම්, දියට ගසාගෙන නොයන්නාහු නම්, බලෙන් දඩ වශයෙන් නොගන්නාහු නම් යෙහෙකැයි ආරක්ෂා කරයි. මහණෙනි, මේ ආරක්ෂා සම්පදාවයයි කියනු ලැබේ.
3. මහණෙනි, කළ්යාණ මිත්ර බව කවරේද,
මහණෙනි, මේ ලෝකයෙහි කුලපුත්රතෙම යම් ගමක හෝ නියම් ගමක හෝ වාසය කරයිද, ඒ යම් ශ්රද්ධාවෙන් යුත්, ශීලයෙන් යුත්, ත්යාගයෙන් යුත්, ප්රඥාවෙන් යුත්, ගෘහපතියෙක් හෝ, ගෘහපති පුත්රයෙක් හෝ, වැඩිමහළු ස්වභාව ඇති තරුණයෙක් හෝ, වැඩිමහළු ස්වභාව ඇති වැඩිමහල්ලෙක් හෝ වෙත්ද, ඔවුන් සමග ආශ්රය කරයිද, සාකච්ඡා කරයිද, කථාවට පැමිණෙයිද, යම්බඳු ශ්රද්ධාවන්තයන්ගේ ශ්රද්ධාවට අනුව හික්මෙයිද, යම්බඳු සිල්වතුන්ගේ ශීලයට අනුව හික්මෙයිද, යම්බඳු ත්යාගවන්තයන්ගේ ත්යාගයට අනුව හික්මෙයිද, යම්බඳු ප්රඥාවන්තයන්ගේ ප්රඥාවට අනුව හික්මෙයිද, මහණෙනි, මේ කළ්යාණ මිත්ර භාවයයි.
4. මහණෙනි, සමජීවික බව කවරේද,
මහණෙනි, මේ ලෝකයෙහි කුලපුත්රතෙම වස්තූන්ගේ අයද දැන, වස්තූන්ගේ වැයද දැන, සමව දිවි පවත්වාද, වැඩි වියදම් නැත්තේද, ඉතා අඩු වියදම්ද නැත්තේද, මෙසේ මාගේ අය වැය මැඩගෙන සිටී. මාගේ වැය, අය මැඩගෙන නොසිටී කියායි. මහණෙනි, වෙළෙන්දෙක් හෝ, වෙළෙන්දෙකුගේ අතවැස්සෙක් හෝ, තරාදියක් ගෙන මෙපමණකින් පහත්වූයේය, මෙපමණකින් උස්වූයේයයි දනියි. මහණෙනි, මෙසේ කුලපුත්ර තෙම වස්තූන්ගේ අයද දැන, වස්තූන්ගේ වැයද දැන, ඉතා වැඩිත් නැතිව, ඉතා අඩුත් නැතිව, සමව ජීවිකාව කරයි. මෙසේ මාගේ අය, වැය මැඩගෙන සිටී. වැය, අය මැඩගෙන නොසිටීයයි සමව ජීවිකාව කරයිද,
මහණෙනි, ඉදින් මේ කුලපුත්ර තෙමේ අය අඩු වූයේම මහත් ජීවිකාවක් කරයි. ඔහුට මේ කුලපුත්ර තෙමේ දිඹුල් කන්නාක් මෙන් භෝගයන් කායයි කියන්නෝ කියත්. මහණෙනි, ඉදින් මේ කුල පුත්ර තෙමේ බොහෝ අය ඇත්තේම දුකසේ ජීවිකාව කරයිද, මේ කුලපුත්ර තෙම වස්තුව තිබෙද්දීත් නොකා මැරෙන්නේයයි කියන්නෝ වෙත්.
මහණෙනි, යම් කලෙක පටන් මේ කුලපුත්ර තෙම වස්තූන්ගේ අයද දැන, වැයද දැන, සමව ජීවිකාව කරයිද, ඉතා වැඩියත්, ඉතා අඩුවත් නොකරයිද, මෙසේ මාගේ අය, වැය මැඩගෙන සිටී. වැයම, අය මැඩගෙන නොසිටියි. මහණෙනි, මේ සම ජීවිකාවයි.
5. මහණෙනි, ශ්රද්ධා සම්පත්තිය කවරේද:
මහණෙනි, මේ ලෝකයෙහි කුලපුත්ර තෙම ශ්රද්ධාවත් වේද, තථාගතයන් වහන්සේගේ බුද්ධත්වය අදහයිද: ‘ඒ භාග්යවතුන් වහන්සේ මේ කාරණයෙන්ද අර්හත්ය, සම්යක් සම්බුද්ධය, විද්යාචරණයන්ගෙන් යුක්තය, සුගතය, ලෝකය දත්තේය, පුරුෂයන් දමනය කරන ශ්රේෂ්ඨ උත්තමයාය, දෙවි මිනිසුන්ගේ ශාස්තෲවරයාය, බුද්ධය, භාග්ය ඇත්තේය’යි. මහණෙනි, මේ ශ්රද්ධා සම්පත්තියයි කියනු ලැබේ.
6. මහණෙනි, සීල සම්පත්තිය කවරේද:
මහණෙනි, මේ ලෝකයෙහි කුලපුත්ර තෙම ප්රාණඝාතයෙන් වැළකුණේ වේද, අදත්තාදානයෙන් වැළකුණේ වේද, කාමමිත්ථ්යාචාරයෙන් වැළකුණේ වේද, මුසාවාදයෙන් වැළකුණේ වේද, මදයට හා ප්රමාදයට කරුණුවූ රහමෙර පානයෙන් වැළකුණේ වේද, මහණෙනි, මේ සීල සම්පත්තියයි කියනු ලැබේ.
7. මහණෙනි, ත්යාග සම්පත්තිය කවරේද:
මහණෙනි, මේ ලෝකයෙහි කුලපුත්ර තෙම ත්යාගය පිණිස මුදන ලද්දේ, සෝදන ලද අත් ඇත්තේ, පරිත්යාගයෙහි යෙදුනේ, ඉල්වීමට සුදුසු වූයේ බෙදා දීමෙහි ඇලුනේ වේද, මහණෙනි, මේ ත්යාග සම්පත්තියයි කියනු ලැබේ.