8. 2. 8. 2.
2. දුතියසද්‍ධ භික්ඛු සූත්‍රය
[සැවැත් නුවර නිදානයි]
72. “මහණෙනි, භික්‍ෂුව සැදැහැවත්ද, සිල්වත් නොවේද, මෙසේ හෙතෙම මේ කරුණින් සම්පූර්‍ණ නොවූවෙකි. එහෙයින් ඒ කරුණ සම්පූර්‍ණ කළ යුතුය. ‘කිමෙක්ද, මම සැදැහැවත් වෙම්ද, සිල්වත් වෙම්ද’ කියාය. මහණෙනි, යම් කරුණෙකින් භික්‍ෂුව සැදැහැවත් වේද, සිල්වත් වේද, ඒ කරුණින් හෙතෙම සම්පූර්‍ණවූයේ වේ.
“මහණෙනි, භික්‍ෂුව සැදැහැවත් වේද, සිල්වත් වේද, බහුශ්‍රුත නොවේද... බහුශ්‍රුත වේද... ධර්‍ම කථික නොවේද... ධර්‍ම කථික වේද... පිරිසෙහි හැසිරෙන්නේ නොවේද... පිරිසෙහි හැසිරෙන්නේ වේද... නිර්භයව පිරිසට බණ කියන්නේ නොවේද... නිර්භයව පිරිසට බණ කියන්නේ වේද... යම් ඒ සත්ත්‍ව කෙනෙක් මිදුණෝ, රූප ලෝක ඉක්මවා අරූපවූවෝ වෙත්ද, ඔවුන් කයින් ස්පර්ශ කොට නොවෙසේද... ඔවුන් කයින් ස්පර්ශ කොට වෙසෙම්ද... පව් ගෙවීමෙන් පිරිසිදු සිතේ මිදීමට, නුවණින් මිදීමට, මේ ආත්මයේ තෙමේ මනාව දැන, අත් දුැක, පැමිණ, නොවෙසේද, මෙසේ හෙතෙම ඒ කරුණින් සම්පූර්‍ණවූයේ වේ. එහෙයින් කිමෙක්ද මම සැදැහැවත් වන්නෙමි, සිල්වත් වන්නෙමි, බහුශ්‍රුත වන් නෙමි, ධර්‍ම කථික වන්නෙමි, පිරිස්හි එළඹෙන්නෙමි, විශාරදව පිරිසට බණ කියන්නෙමි. යම් ඒ සත්ත්‍ව කෙනෙක් ශාන්තවූවෝ, මිදුණෝ, රූප ලෝක ඉක්මවා අරූපවූවෝ වෙත්ද, ඔවුන් කයින් ස්පර්‍ශකොට වසන්නෙම්ද. පව් ගෙවීමෙන් පිරිසිදු සිතේ මිදීමට, නුවණින් මිදීමට, මේ ආත්මයේ තෙමේ මනාව දැන, අත් දුැක, පැමිණ, වසන්නෙම්දැයි ඒ කාරණයෙන් හික්මිය යුතුය.
“මහණෙනි, යම් හෙයකින් වනාහි භික්‍ෂුව සැදැහැවත්ද, සිල්වත්ද, බහුශ්‍රුතද, ධර්‍ම කථිකද, පිරිස්හි එළඹෙන්නේද, විශාරදව පිරිසට බණ කියන්නේද, යම් ඒ සත්ත්‍ව කෙනෙක් ශාන්තවූවෝ, මිදුණෝ, රූප ලෝක ඉක්මවා අරූපවූවෝ වෙත්ද, ඔවුන් කයින් කය ස්පර්ශ කොට වෙසෙන්නෝ, පව් ගෙවීමෙන් පිරිසිදු සිතේ මිදීමට, නුවණින් මිදීමට, මේ ආත්මයේ තෙමේ මනාව දැන, අත් දුැක, පැමිණ, වෙසේද, මෙසේ හෙතෙම ඒ කරුණින් සම්පූර්‍ණවූයේ වේ.
“මහණෙනි, මේ කරුණු අටින් යුත් භික්‍ෂුව හාත් පස පහදන්නෙක් වේ. සෑම අයුරින්ම සම්පූර්‍ණවූවෙක්ද වේ.”
8. 2. 8. 3.
3. පඨම මරණසති සූත්‍රය
73. “එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ නාදිකගම්හි ගිඤ්ජකාවසථයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට ඇමතූ සේක. “භදන්තයෙනි” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
“මහණෙනි, මරණසතිය වඩන ලද්දේ, බහුල වශයෙන් පුරුදු කරණ ලද්දේ මහත්පල ඇත්තේ වෙයි. මහානිශංස ඇත්තේ වෙයි. නිවණට බැසගත්තේ, නිවණ කෙළවරකොට ඇත්තේ වෙයි. මහණෙනි, යුෂ්මත්හු මරණ සතිය වඩව්ද?”
මෙසේ වදාළ කල්හි එක්තරා භික්‍ෂුවක් මෙය කීයේය. “ස්වාමීනි, මම මරණ සතිය වඩමි.” යනුයි.
“මහණෙනි, යුෂ්මතා කෙසේ වනාහි මරණ සතිය වඩන්නේද?” “ස්වාමීනි, මට මෙහි මෙසේ අදහස් වෙයි. ‘මමරෑ දාවල් ජීවත්වන්නෙම් භාග්‍යවතුන් වහන්සේගේ ධර්‍මය සිහිකරන්නෙම් නම් ඉතා යෙහෙක. ඒකාන්තයෙන් මා විසින් බොහෝ දේ කරණ ලද්දේය.’ යනුයි. ස්වාමීනි මම මෙසේ මරණ සතිය වඩමි.”