7. 2. 2. 8.
[අග්ගික්ඛන්ධොපම සුත්තං]
19. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ මහත් භික්ෂු සංඝයා සමඟ කොසොල් ජනපදයෙහි චාරිකාවේ වඩින සේක. දීර්ඝ මාර්ගයෙහි වඩිමින් සිටි භාග්‍යවතුන් වහන්සේ එක්තරා ප්‍රදේශයක ඇවිළගත්, හොඳින් දැල්වෙන, ගිනිදැල් සහිත වූ මහත් ගිනිකඳක් දුටු සේක. දැක මාර්ගයෙන් ඉවත් වී එක්තරා රුක් මුලක පනවන ලද අසුනෙහි වැඩ හුන් සේක. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක: “මහණෙනි, ඇවිළගත්, හොඳින් දැල්වෙන, ගිනිදැල් සහිත වූ අර මහත් ගිනිකඳ ඔබ දකිනවා නොවේද?” “එසේය, ස්වාමීනි.”
“මහණෙනි, ඒ කුමක් යැයි සිතන්නහු ද? ඇවිළගත්, හොඳින් දැල්වෙන, ගිනිදැල් සහිත වූ අර මහත් ගිනිකඳ වැළඳගෙන ළඟින් හිඳින්නේ හෝ ළං වී නිදන්නේ හෝ යන යමක් වේද, මොළොක් ළපටි අත් පා ඇති ක්ෂත්‍රිය කන්‍යාවක හෝ බ්‍රාහ්මණ කන්‍යාවක හෝ ගෘහපති කන්‍යාවක හෝ වැළඳගෙන ළඟින් හිඳින්නේ හෝ ළං වී නිදන්නේ හෝ යන යමක් වේද, මේ දෙකින් කවරක් උතුම් ද?” “ස්වාමීනි, මොළොක් ළපටි අත් පා ඇති ක්ෂත්‍රිය කන්‍යාවක හෝ බ්‍රාහ්මණ කන්‍යාවක හෝ ගෘහපති කන්‍යාවක හෝ වැළඳගෙන ළඟින් හිඳින්නේ හෝ ළං වී නිදන්නේ හෝ යන මෙයම උතුම්ය. ස්වාමීනි, ඇවිළගත්, හොඳින් දැල්වෙන, ගිනිදැල් සහිත වූ අර මහත් ගිනිකඳ වැළඳගෙන ළඟින් හිඳින්නේ හෝ ළං වී නිදන්නේ හෝ යන මෙය දුකකි.”
“මහණෙනි, ඔබට දන්වමි, මහණෙනි, ඔබට තේරුම් කර කියමි: දුශ්ශීල වූ, ලාමක ස්වභාව ඇති, අපවිත්‍ර වූ, (අනුන් විසින්) සැකයෙන් සිහි කළ යුතු හැසිරීම් ඇති, වසන් කළ යුතු ක්‍රියා ඇති, ශ්‍රමණයෙකු නොවී ශ්‍රමණයෙකු යැයි ප්‍රතිඥා කරන, බ්‍රහ්මචාරී නොවී බ්‍රහ්මචාරියෙකු යැයි ප්‍රතිඥා කරන, ඇතුළත කුණු වූ, (රාගාදි කෙලෙසින්) තෙත් වූ, කෙලෙස් කසළ හටගත් ඒ පුද්ගලයාට, ඇවිළගත්, හොඳින් දැල්වෙන, ගිනිදැල් සහිත වූ අර මහත් ගිනිකඳ වැළඳගෙන ළඟින් හිඳින්නේ හෝ ළං වී නිදන්නේ හෝ යන මෙයම උතුම් වන බව. ඊට හේතු කවරේද? මහණෙනි, ඔහු ඒ හේතුවෙන් මරණයට හෝ පැමිණෙන්නේය, මරණය තරම් දුකකට හෝ පැමිණෙන්නේය. එහෙත් ඒ හේතුවෙන් කය බිඳී මරණින් මතු අපාය නම් වූ දුගතිය නම් වූ විනිපාතය නම් වූ නිරයෙහි නූපදින්නේමය. මහණෙනි, දුශ්ශීල වූ, ලාමක ස්වභාව ඇති, අපවිත්‍ර වූ, සැකයෙන් සිහි කළ යුතු හැසිරීම් ඇති -පෙ- කෙලෙස් කසළ හටගත් ඒ පුද්ගලයා මොළොක් ළපටි අත් පා ඇති ක්ෂත්‍රිය කන්‍යාවක හෝ බ්‍රාහ්මණ කන්‍යාවක හෝ ගෘහපති කන්‍යාවක හෝ වැළඳගෙන ළඟින් හිඳියි නම් හෝ ළං වී නිදයි නම් හෝ, මහණෙනි, එය ඔහුට බොහෝ කලක් අහිත පිණිස, දුක් පිණිස පවතියි. ඔහු කය බිඳී මරණින් මතු අපාය නම් වූ දුගතිය නම් වූ විනිපාතය නම් වූ නිරයෙහි උපදියි.”
“මහණෙනි, ඒ කුමක් යැයි සිතන්නහු ද? බලවත් පුරුෂයෙක් (අස් ලොම්, ගව ලොම්වලින් ගෙතූ) දැඩි වාල රැහැනකින් දෙකෙණ්ඩා වෙළා අතුල්ලන්නේය, එය සිවිය සිඳින්නේය, සිවිය සිඳ සම සිඳින්නේය, සම සිඳ මස් සිඳින්නේය, මස් සිඳ නහර සිඳින්නේය, නහර සිඳ ඇට සිඳින්නේය, ඇට සිඳ ඇටමිදුළෙහි වැද සිටින්නේය යන යමක් වේද, ක්ෂත්‍රිය මහාසාරයන්ගේ (මහා ධනවත් ක්ෂත්‍රියයන්ගේ) හෝ බ්‍රාහ්මණ මහාසාරයන්ගේ හෝ ගෘහපති මහාසාරයන්ගේ හෝ වැඳීම ඉවසන්නේ (පිළිගන්නේ) යන යමක් වේද, මේ දෙකින් කවරක් උතුම් ද?” “ස්වාමීනි, ක්ෂත්‍රිය මහාසාරයන්ගේ හෝ බ්‍රාහ්මණ මහාසාරයන්ගේ හෝ ගෘහපති මහාසාරයන්ගේ හෝ වැඳීම ඉවසන්නේ යන මෙයම උතුම්ය. ස්වාමීනි, බලවත් පුරුෂයෙක් දැඩි වාල රැහැනකින් දෙකෙණ්ඩා වෙළා -පෙ- ඇටමිදුළෙහි වැද සිටින්නේය යන මෙය දුකකි.”
“මහණෙනි, ඔබට දන්වමි, මහණෙනි, ඔබට තේරුම් කර කියමි: දුශ්ශීල වූ -පෙ- කෙලෙස් කසළ හටගත් ඒ පුද්ගලයාට, බලවත් පුරුෂයෙක් දැඩි වාල රැහැනකින් දෙකෙණ්ඩා වෙළා -පෙ- ඇටමිදුළෙහි වැද සිටින්නේය යන මෙයම උතුම් වන බව. ඊට හේතු කවරේද? මහණෙනි, ඔහු ඒ හේතුවෙන් මරණයට හෝ පැමිණෙන්නේය, මරණය තරම් දුකකට හෝ පැමිණෙන්නේය. එහෙත් ඒ හේතුවෙන් කය බිඳී මරණින් මතු අපාය නම් වූ දුගතිය නම් වූ විනිපාතය නම් වූ නිරයෙහි නූපදින්නේමය. මහණෙනි, දුශ්ශීල වූ -පෙ- කෙලෙස් කසළ හටගත් ඒ පුද්ගලයා ක්ෂත්‍රිය මහාසාරයන්ගේ හෝ බ්‍රාහ්මණ මහාසාරයන්ගේ හෝ ගෘහපති මහාසාරයන්ගේ හෝ වැඳීම ඉවසයි නම්, මහණෙනි, එය ඔහුට බොහෝ කලක් අහිත පිණිස, දුක් පිණිස පවතියි. ඔහු කය බිඳී මරණින් මතු අපාය නම් වූ දුගතිය නම් වූ විනිපාතය නම් වූ නිරයෙහි උපදියි.”