2. මහා වර්‍ගය
7. 2. 2. 1.
[හිරොත්තප්ප සූත්‍රය]
[සැවැත් නිදානයයි]
12. “මහණෙනි, පාපයට ලජ්ජාව හා භය නැති කල්හි පිරිහී ගිය හිරි ඔතප් ඇත්තහුට ඉන්‍ද්‍රිය සංවරයට කරුණු නැත්තේ වේ. ඉන්‍ද්‍රිය සංවරය නැති කල්හි පිරිහී ගිය ඉත්‍ද්‍රිය සංවරය ඇත්තහුට ශීලයට කරුණු නැත්තේ වේ. ශීලය නැති කල්හි විපතට පත් ශීලය ඇත්තහුට සම්‍යක් සමාධියට කරුණු නැත්තේ වේ. සම්‍යක් සමාධිය නැති කල්හි, පිරිහී ගිය සම්‍යක් සමාධි ඇත්තහුට තත්වූ පරිදි ඥාන දර්‍ශනය නැත්තේ වේ. තත්වූ පරිදි ඥාන දර්‍ශනය නැති කල්හි, විපතට පත් යථාභූත ඥාන දර්‍ශනය (ඒ වූ පරිදි දැකිමේ නුවණ) ඇත්තහුට සංස්කාරයන්ගේ කළකිරීමෙන් ඇතිවන ක්ලේශයන්ගෙන් වෙන්වීම නැත්තේ වේ. සංස්කාරයන්ගේ කළකිරීමෙන් ඇතිවන ක්ලේශයන්ගෙන් වෙන්වීම නැති කල්හි පිරිහී ගිය සංස්කාරයන්ගේ කලකිරීමෙන් ඇතිවන ක්ලේශයන්ගෙන් වෙන්විම ඇත්තහුට විමුක්ති ඥාන දර්‍ශනයට (මිදීම නුවණින් දැකීමට) කරුණු නැත්තේ වේ.
“මහණෙනි, පිරිහී ගිය අතු පතර ඇති ගසක් වේද, එහි පතුරුද සම්පූර්‍ණ බවට නොපැමිණේ. පොත්තද, එළයද, අරටුවද සම්පූර්‍ණ බවට නොපැමිණේ. මහණෙනි, එපරිද්දෙන්ම පාපයට ලජ්ජාව හා බිය නැති කල්හි පිරිහී ගිය පාපයට ලජ්ජාව හා බිය ඇත්තහුට විමුක්ති ඥාන දර්‍ශනයට කරුණු නැත්තේ වේ.
“මහණෙනි, පාපයට ලජ්ජාව හා බිය ඇති කල්හි පාපයට ලජ්ජාව හා බිය ඇත්තහුට ඉන්‍ද්‍රිය සංවරයට කරුණු ඇත්තේ වේ. ඉන්‍ද්‍රිය සංවරය ඇති කල්හි ඉන්‍ද්‍රිය සංවරය ඇත්තහුට ශීලයට කරුණු ඇත්තේ වේ. ශීලය ඇති කල්හි ශීලය ඇත්තහුට සම්‍යක් සමාධියට (නිවරද සිත එකඟයට) කරුණු ඇත්තේ වේ. සම්‍යක් සමාධිය ඇති කල්හි, සම්‍යක් සමාධිය ඇත්තහුට තත්වූ පරිදි ඥාන දර්‍ශනයට කරුණු ඇත්තේ වේ. තත්වූ පරිදි ඥාන දර්‍ශනය ඇති කල්හි තත්වූ පරිදි ඥාන දර්‍ශනය ඇත්තහුට සංස්කාරයන්ගේ කළකිරීමෙන් ඇතිවන ක්ලේශයන්ගෙන් වෙන්වීම ඇත්තේ වේ. සංස්කාරයන්ගේ කළකිරීමෙන් ඇතිවන ක්ලේශයන්ගෙන් වෙන්වීම ඇති කල්හි සංස්කාරයන්ගේ කළකිරීමෙන් ඇතිවන ක්ලේශයන්ගෙන් වෙන්වීම ඇත්තහුට විමුක්ති ඥාන දර්‍ශනයට කරුණු ඇත්තේ වේ.
“මහණෙනි, සම්පූර්‍ණවූ අතු පතර ඇති ගසක් වේද, එහි පතුරුද සම්පූර්‍ණ බවට පැමිණේ. පොත්තද, එළයද, අරටුවද සම්පූර්‍ණ බවට පැමිණේ. මහණෙනි, පවට ලජ්ජා හා බිය ඇති කල්හි පවට ලජ්ජාව හා බිය ඇත්තහුට ඉත්‍ද්‍රිය සංවරයට කරුණු ඇත්තේ වේ. ඉන්‍ද්‍රිය සංවරය ඇති කල්හි ඉන්‍ද්‍රිය සංවරය ඇත්තහුට ශීලයට කරුණු ඇත්තේ වේ. ශීලය ඇති කල්හි ශීලය ඇත්තහුට සම්‍යක් සමාධියට (නිවරද සිත එකඟයට) කරුණු ඇත්තේ වේ. සම්‍යක් සමාධිය ඇති කල්හි, සම්‍යක් සමාධිය ඇත්තහුට තත්වූ පරිදි ඥාන දර්‍ශනයට කරුණු ඇත්තේ වේ. තත්වූ පරිදි ඥාන දර්‍ශනය ඇති කල්හි තත්වූ පරිදි ඥාන දර්‍ශනය ඇත්තහුට සංස්කාරයන්ගේ කළකිරීමෙන් ඇතිවන ක්ලේශයන්ගෙන් වෙන්වීම ඇත්තේ වේ. සංස්කාරයන්ගේ කළකිරීමෙන් ඇතිවන ක්ලේශයන්ගෙන් වෙන්වීම ඇති කල්හි සංස්කාරයන්ගේ කළකිරීමෙන් ඇතිවන ක්ලේශයන්ගෙන් වෙන්වීම ඇත්තහුට විමුක්ති ඥාන දර්‍ශනයට කරුණු ඇත්තේ වේ.
7. 2. 2. 2.
[සත්තසුරියුග්ගමන සූත්‍රය]
13. “එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විශාලා නගරය සමීපයෙහිවූ අම්බපාලී වනයෙහි වැඩ වසන සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” යි භික්‍ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි,” යි ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට ප්‍රති වචන දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, සංස්කාරයෝ අනිත්‍යයහ. මහණෙනි, සංස්කාරයෝ අස්ථිරයහ. මහණෙනි, සංස්කාරයෝ සැනසීම් රහිතයහ. මහණෙනි, යම් බඳුවූ මේ සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුය. නොඇලීමට සුදුසුය. විශේෂයෙන් මිදීමට සුදුසුය.
මහණෙනි, මේරු පර්‍වත රාජයා දිගින් යොදුන් අසූ සාර දහසෙකි. පළලින් යොදුන් සාර දහසෙකි. යොදුන් අසූසාර දහසක් මුහුදෙහි ගිලී සිටියේය. යොදුන් අසූසාර දහසක් මුහුදින් උඩට නැගී සිටියේය.
“මහණෙනි, මෙබඳු කාලයක් වන්නේමය. (කෙබඳුද?) බොහෝ අවුරුදු ගණනකින්, බොහෝ අවුරුදු සිය ගණනකින්, බොහෝ අවුරුදු දහස් ගණනකින්, බොහෝ අවුරුදු ලක්‍ෂ ගණනකින්, වර්‍ෂාව නොවසියි. මහණෙනි, වර්‍ෂාව නොවස්නා කල්හි යම් ඒ ඇට වර්‍ග ගස් වැල් ඖෂධ ජාති හා වන ප්‍රදේශයෝ ඇද්ද, ඒ සියල්ල වියලී යත්. නොපැළවෙත්.
එසේම මහණෙනි, සංස්කාරයෝ අනිත්‍යයහ. මහණෙනි, සංස්කාරයෝ අස්ථිරයහ. මහණෙනි, සංස්කාරයෝ සැනසීම් රහිතයහ. මහණෙනි, යම් බඳුවූ මේ සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුය. නොඇලීමට සුදුසුය. විශේෂයෙන් මිදීමට සුදුසුය.
“මහණෙනි, කවර කලෙක හෝ දීර්‍ඝ කාලයක් ඇවෑමෙන් දෙවෙනි සූර්‍ය්‍යයා පහළ වේද, එබඳු කාලයක් වේමය. මහණෙනි, දෙවෙනි සුර්‍ය්‍යයා පහළ වීමෙන් යම් ඒ කුඩා ඇල, දොළ, වළවල් ඇද්ද, ඒවා සිඳෙත්. වියලී යත්. නොවෙත්.
එසේම මහණෙනි, සංස්කාරයෝ අනිත්‍යයහ. මහණෙනි, සංස්කාරයෝ අස්ථිරයහ. මහණෙනි, සංස්කාරයෝ සැනසීම් රහිතයහ. මහණෙනි, යම් බඳුවූ මේ සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුය. නොඇලීමට සුදුසුය. විශේෂයෙන් මිදීමට සුදුසුය.
“මහණෙනි, කවර කාලයෙක හෝ දීර්‍ඝ කාලයක් ඇවෑමෙන් තුන්වෙනි සූර්‍ය්‍යයා පහළ වේද, එබඳු කාලයක් වේමය. මහණෙනි, තුන්වෙනි සුර්‍ය්‍යයා පහළ වීමෙන් යම්කිසි ඒ මහා ගංගා වෙද්ද, ඒ කවරහුද, ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහී (යන මේ ගංගාවෝ) වියලී යත්. සිඳෙත්. නොවෙත්.
එසේම මහණෙනි, සංස්කාරයෝ අනිත්‍යයහ. මහණෙනි, සංස්කාරයෝ අස්ථිරයහ. මහණෙනි, සංස්කාරයෝ සැනසීම් රහිතයහ. මහණෙනි, යම් බඳුවූ මේ සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුය. නොඇලීමට සුදුසුය. විශේෂයෙන් මිදීමට සුදුසුය.
“මහණෙනි, කවර කාලයෙක හෝ දීර්‍ඝ කාලයක් ඇවෑමෙන් සතරවෙනි සූර්‍ය්‍යයා පහළ වේද, එබඳු කාලයක් වේමය. මහණෙනි, සතරවෙනි සුර්‍ය්‍යයාගේ පහළ වීමෙන් යම් තැන්වලින් මේ මහා ගංගා ඇතිවන්නාහු නම්, යම් මහ විල් වෙද්ද, එනම්, අනවතප්ත, සිංහප්‍රපාත, රථකාර, කර්‍ණමුණ්ඩ, ඡද්දන්ත, මන්දාකිනී යන විල්හු වියලෙත්. සිඳෙත්. නොවෙත්.
එසේම මහණෙනි, සංස්කාරයෝ අනිත්‍යයහ. මහණෙනි, සංස්කාරයෝ අස්ථිරයහ. මහණෙනි, සංස්කාරයෝ සැනසීම් රහිතයහ. මහණෙනි, යම් බඳුවූ මේ සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුය. නොඇලීමට සුදුසුය. විශේෂයෙන් මිදීමට සුදුසුය.