7. 2. 2. 5.
[පාරිච්ඡත්තක සූත්‍රය]
[සැවැත් නුවර දී ය]
16. මහණෙනි, යම් කිසි කලෙක තවුතිසා දෙවියන්ගේ පාරිච්ඡත්තක කෝවිළාර (පරසතු) රුකෙහි කොළ පඬුවන් පැහැ වෙයි. මහණෙනි, ඒ කාලයෙහි තවුතිසා දෙවියෝ ‘දැන් පාරිච්ඡත්තක කෝවිළාර රුකෙහි කොළ පඬුවන් පැහැ වූයේය, කල් නොයවාම කොළ හැලෙන්නේය’ යි අත්තමන (සතුටු) වෙත්.
මහණෙනි, යම් කිසි කලෙක තවුතිසා දෙවියන්ගේ පාරිච්ඡත්තක කෝවිළාර රුක වැටුණ කොළ ඇත්තේ වෙයිද, ඒ කාලයෙහි තවුතිසා දෙවියෝ ‘දැන් පාරිච්ඡත්තක කෝවිළාර රුක වැටුණ කොළ ඇත්තේය, කල් නොයවාම ජාලකජාත (දළු ලන්නේ) වන්නේය’ යි අත්තමන වෙත්.
මහණෙනි, යම් කිසි කලෙක තවුතිසා දෙවියන්ගේ පාරිච්ඡත්තක කෝවිළාර රුක ජාලකජාත (දළු ලෑවේ) වේද, මහණෙනි, ඒ කාලයෙහි තවුතිසා දෙවියෝ ‘දැන් පාරිච්ඡත්තක කෝවිළාර රුක ජාලකජාත විය, කල් නොයවාම ඛාරකජාත (කරල් වැනි මල්) වන්නේය’ යි අත්තමන වෙති.
මහණෙනි, යම් කිසි කලෙක තවුතිසා දෙවියන්ගේ පාරිච්ඡත්තක කෝවිළාර රුක ඛාරකජාත වෙයිද, මහණෙනි, ඒ කාලයෙහි තවුතිසා දෙවියෝ ‘දැන් පාරිච්ඡත්තක කෝවිළාර රුක ඛාරකජාත විය, කල් නොයවාම කුඩුමලකජාත (මල් මොට්ටු) වන්නේය’ යි අත්තමන වෙති.
මහණෙනි, යම් කිසි කලෙක තවුතිසා දෙවියන්ගේ පාරිච්ඡත්තක කෝවිළාර රුක කුඩුමලකජාත (මල් මොට්ටු) වෙයිද, මහණෙනි, ඒ කාලයෙහි තවුතිසා දෙවියෝ ‘දැන් පාරිච්ඡත්තක කෝවිළාර රුක කුඩුමලකජාත විය, කල් නොයවාම කොකාසකජාත (තැනින් තැන පිපුණු) වන්නේය’ යි අත්තමන වෙති.
මහණෙනි, යම් කිසි කලෙක තවුතිසා දෙවියන්ගේ පාරිච්ඡත්තක කෝවිළාර රුක කොකාසකජාත වෙයිද, මහණෙනි, ඒ කාලයෙහි තවුතිසා දෙවියෝ ‘දැන් පාරිච්ඡත්තක කෝවිළාර රුක කොකාසකජාත විය, කල් නොයවාම සබ්බපාලිඵුල්ල (මුළුල්ලේම පිපුණු) වන්නේය’ යි අත්තමන වෙත්.
මහණෙනි, යම් කිසි කලෙක තවුතිසා දෙවියන්ගේ පාරිච්ඡත්තක කෝවිළාර රුක මුළුල්ලේම පිපුණේ වෙයිද, මහණෙනි, සතුටුවූ තවුතිසා දෙවියෝ පාරිච්ඡත්තක කෝවිළාර රුක්මුල දිව්‍යවූ සාර මාසයක් මුළුල්ලෙහි දිව්‍යවූ පඤ්චකාම ගුණයන්ගෙන් සමර්පිතව, සමගිව පිරිවරා සිටිති. මහණෙනි, මුළුල්ලේම පිපුණාවූ පාරිච්ඡත්තක කෝවිළාර රුකෙහි හාත්පස පණස් යොදුනක් ආලෝකයෙන් ස්පර්ශ කරණ ලද්දේ වෙයි. වාතය අනුව යොදුන් සියයක් සුවඳ හමයි. පාරිච්ඡත්තක කෝවිළාර රුකෙහි මේ ආනුභාවයයි.
(1) මහණෙනි, එමෙන්ම යම් කලෙක ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ගෘහවාසයෙන් වෙන්ව අනගාරිය නම්වූ පැවිද්දට සිත යොදයිද, මහණෙනි, ඒ කාලයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම තවුතිසා දෙවියන්ගේ පාරිච්ඡත්තක කෝවිළාර රුක පණ්ඩුපලාස (කොළ පඬුවන්) වූවාසේ වෙයි.
(2) මහණෙනි, යම් කලෙක ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම කෙස් රැවුල් බහා තබා කසාවත් හැඳ ගිහිගෙන් නික්ම අනගාරිය ශාසනයෙහි පැවිදිවූයේ වේද, මහණෙනි, ඒ කාලයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම තවුතිසා දෙවියන්ගේ පාරිච්ඡත්තක කෝවිළාර රුක සන්නපලාස (කොළ වැටුන) වූවාසේ වෙයි.
(3) මහණෙනි, යම් කලෙක ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම කාමයන්ගෙන් වෙන්ව ... ප්‍රථම ධ්‍යානයට පැමිණ වාසය කෙරේද, මහණෙනි, ඒ කාලයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම තවුතිසා දෙවියන්ගේ පාරිච්ඡත්තක කෝවිළාර රුක ජාලකජාත (දළු ලෑවා) සේ වෙයි.
(4) මහණෙනි, යම් කලෙක ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම විතර්‍ක විචාරයන්ගේ සංසිඳීමෙන් ... ද්විතීය ධ්‍යානයට පැමිණ වාසය කෙරේද, මහණෙනි, ඒ කාලයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම තවුතිසා දෙවියන්ගේ පාරිච්ඡත්තක කෝවිළාර රුක ඛාරකජාත වූවා සේ වෙයි.