7. 2. 2. 6.
සක්කාර ගරුකාර සූත්‍රය
[සැවැත් නුවර නිදානයි]
17. “ඉක්බිති රහසිගතව විවේකයෙහි ඇළුනාවූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙසේ සිතුවිල්ලක් පහළ විය. “භික්‍ෂුව කවරෙකුට වනාහි සත්කාරකොට, ගරුකාරකොට, ඇසුරුකොට වාසය කරන්නේ, අකුසල් දුරු කරන්නේද, කුසල් වඩන්නේද? යනුවෙනි.
“ඉක්බිති ආයුෂ්මත්වූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මේ අදහස විය. “භික්‍ෂුව ශාස්තෲන් වහන්සේට වනාහි සත්කාරකොට, ගරුකාරකොට, ආශ්‍රයකොට වාසය කරන්නේ අකුසල් දුරු කරන්නේය. කුසල් වඩන්නේය ධර්‍මයට වනාහි සත්කාරකොට, ගරුකාරකොට, ආශ්‍රයකොට වාසය කරන්නේ අකුසල් දුරු කරන්නේය. කුසල් වඩන්නේය සඞ්ඝයාට වනාහි සත්කාරකොට, ගරුකාරකොට, ආශ්‍රයකොට වාසය කරන්නේ අකුසල් දුරු කරන්නේය. කුසල් වඩන්නේය ශික්‍ෂාවට වනාහි සත්කාරකොට, ගරුකාරකොට, ආශ්‍රයකොට වාසය කරන්නේ අකුසල් දුරු කරන්නේය. කුසල් වඩන්නේය සමාධියට වනාහි සත්කාරකොට, ගරුකාරකොට, ආශ්‍රයකොට වාසය කරන්නේ අකුසල් දුරු කරන්නේය. කුසල් වඩන්නේය අප්‍රමාදයට වනාහි සත්කාරකොට, ගරුකාරකොට, ආශ්‍රයකොට වාසය කරන්නේ අකුසල් දුරු කරන්නේය. කුසල් වඩන්නේය පිළිසඳරට වනාහි සත්කාරකොට, ගරුකාරකොට, ආශ්‍රයකොට වාසය කරන්නේ අකුසල් දුරු කරන්නේය. කුසල් වඩන්නේය යනුවෙනි.
“ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මේ අදහස විය. “මේ ධර්මයෝ පිරිසිදුය, බබලන සුලුය. මම භාග්‍යවතුන් වහන්සේ ලඟට ගොස් මේ ධර්මයන් කියන්නෙම් නම් ඉතා යෙහෙක” යනුවෙනි. මෙසේ මේ ධර්මයෝ පිරිසිදුවූවෝ, ඉතාම පිරිසිදුවූවෝ වන්නාහ. යම්සේ පුරුෂයෙක් පිරිසිදුවූ, බබලන්නාවූ රන් කාසියක් ලබන්නේ නම් ඔහුට මේ අදහස වන්නේය. ‘මාගේ මේ රන් කාසිය පිරිසිදුය. බබලන සුලුය. මේ රන් කාසිය රන් කරුවකු වෙතට ගෙන ගියේ නම් පිරිසිදු වන්නේය. ඉතාම පිරිසිදු වන්නේය’ යනුවෙනි. එපරිද්දෙන්ම මේ ධර්මයෝ පිරිසිදුය. බබලන සුලුය. භාග්‍යවතුන් වහන්සේ ලඟට ගොස් මේ ධර්මයන් ප්‍රකාශ කරන්නේ නම් ඉතා යෙහෙක යනුවෙනි. එසේ කල්හි මේ ධර්මයෝ පිරිසිදු වූවෝ වන්නාහ. ඉතාම පිරිසිදුවූවෝ වන්නාහ.”
“ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සවස් වේලෙහි විවේකයෙන් නැගිටියේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ. එකත්පසෙක සිටියාවූ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ.
“ස්වාමීනි, රහසිගතව විවේකයෙහි ඇළුනාවූ මට මෙසේ සිතුවිල්ලක් පහළ විය. “භික්‍ෂුව කවරෙකුට වනාහි සත්කාරකොට, ගරුකාරකොට, ආශ්‍රයකොට වාසය කරන්නේ, අකුසල් දුරු කරන්නේද, කුසල් වඩන්නේද?” යනුවෙනි.
ඒ මට මේ අදහස විය. “භික්‍ෂුව ශාස්තෲන් වහන්සේට වනාහි සත්කාරකොට, ගරුකාරකොට, ආශ්‍රයකොට වාසය කරන්නේ අකුසල් දුරු කරන්නේය. කුසල් වඩන්නේය. ධර්මයට වනාහි... සංඝයාට වනාහි... ශික්ෂාවට වනාහි... සමාධියට වනාහි... අප්‍රමාදයට වනාහි... පිළිසඳරට වනාහි සත්කාරකොට ගරුකාරකොට උපනිශ්‍රය කොට වාසය කරන්නේ අකුසල් දුරු කරන්නේය, කුසල් වඩන්නේය යනුවෙනි.
ඒ මට මේ අදහස විය. “මේ ධර්මයෝ පිරිසිදුය, බබලන සුලුය. මම භාග්‍යවතුන් වහන්සේ ලඟට ගොස් මේ ධර්මයන් කියන්නෙම් නම් ඉතා යෙහෙක” යනුවෙනි. මෙසේ මේ ධර්මයෝ පිරිසිදුවූවෝ, ඉතාම පිරිසිදුවූවෝ වන්නාහ.
යම්සේ පුරුෂයෙක් පිරිසිදුවූ, බබලන්නාවූ රන් කාසියක් ලබන්නේ නම් ඔහුට මේ අදහස වන්නේය. ‘මාගේ මේ රන් කාසිය පිරිසිදුය. බබලන සුලුය. මේ රන් කාසිය රන් කරුවකු වෙතට ගෙන ගියේ නම් පිරිසිදු වන්නේය. ඉතාම පිරිසිදු වන්නේය’ යනුවෙනි. එපරිද්දෙන්ම මේ ධර්මයෝ පිරිසිදුය. බබලන සුලුය. භාග්‍යවතුන් වහන්සේ ලඟට ගොස් මේ ධර්මයන් ප්‍රකාශ කරන්නේ නම් ඉතා යෙහෙක යනුවෙනි. එසේ කල්හි මේ ධර්මයෝ පිරිසිදු වූවෝ වන්නාහ. ඉතාම පිරිසිදුවූවෝ වන්නාහ.”