7. 2. 2. 4.
[ධම්මඤ්ඤූ සුත්තං]
[සැවැත් නුවර දී ය]
15. මහණෙනි, ධර්‍ම සතකින් යුත් භික්‍ෂුව පූජාවට යෝග්‍ය වේ ... ලෝකයාගේ අනුත්තර පින් කෙතය. කවර සතකින්ද යත්:
මේ ශාසනයෙහි මහණතෙම ධර්‍මය දන්නේ වේද, අර්ත්‍ථය දන්නේ වේද, තමා දන්නේද, ප්‍රමාණය දන්නේද, කාලය දන්නේද, පිරිස දන්නේද, පුද්‌ගලපරෝපරය (උතුම් පුද්ගලයන්) දන්නේද යන කරුණු සතයි.
(1) මහණෙනි, කෙසේ නම් භික්‍ෂුව ධර්‍මය දන්නේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ධර්‍මය දන්නේ, සූත්‍රය, ගෙය්‍යය, වෙය්‍යාකරණය, ගාථාය, උදානය, ඉතිවුත්තකය, ජාතකය, අද්භූත ධර්‍මය, වෙදල්ලය දනීද. මහණෙනි, ඉදින් භික්‍ෂුව ධර්‍මය වන සූත්‍රය ... වෙදල්ලය නොදන්නේ නම් මේ ශාසනයෙහි ධර්‍මය දන්නේ යැයි නොකියනු ලැබේ. මහණෙනි, යම් හෙයකින් භික්‍ෂුව ධර්‍මය වන සූත්‍රය ... වෙදල්ලය දනීද, එහෙයින් භික්‍ෂුව ධම්මඤ්ඤූ (ධර්‍මය දන්නේ) යැයි කියනු ලැබේ. මෙසේ ධර්‍මය දන්නේ වේ.
(2) අර්ත්‍ථය දන්නා තැනැත්තේද කෙසේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුව ඒ ඒ භාෂිතයාගේ අර්ත්‍ථය “මේ භාෂිතයාගේ අර්ත්‍ථය මේ වෙයි, මේ භාෂිතයාගේ අර්ත්‍ථය මේ වේ” යයි දනී. මහණෙනි, ඉදින් භික්‍ෂුව ඒ ඒ භාෂිතයාගේ අර්ත්‍ථය “මේ භාෂිතයාගේ අර්ත්‍ථය මේ වෙයි, මේ භාෂිතයාගේ අර්ත්‍ථය මේ වේ” යයි නොදන්නේ නම් අත්ථඤ්ඤූ (අර්ත්‍ථය දන්නේ) යයි නොකියනු ලැබේ. මහණෙනි, යම් හෙයකින් වනාහි භික්‍ෂුව ඒ ඒ භාෂිතයාගේ අර්ත්‍ථය “මේ භාෂිතයාගේ අර්ත්‍ථය මේය, මේ භාෂිතයාගේ අර්ත්‍ථය මේ යයි” දනීද, එහෙයින් අත්ථඤ්ඤූ යයි කියනු ලැබේ. මෙසේ ධම්මඤ්ඤූ වේ, අත්ථඤ්ඤූ වේ.
(3) තමා දන්නේ කෙසේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුව තමා ගැන “ශ්‍රද්ධාවෙන්ද, ශීලයෙන්ද, ශ්‍රුතයෙන්ද, ත්‍යාගයෙන්ද, ප්‍රඥාවෙන්ද, ප්‍රතිභානයෙන්ද, මෙපමණකින් යුක්ත වෙමි” යි දනී. මහණෙනි, ඉදින් භික්‍ෂුව තමා ගැන ... නොදන්නේ නම් අත්තඤ්ඤූ (තමා දන්නේ) යයි නොකියනු ලැබේ. මහණෙනි, යම් හෙයකින් වනාහි භික්‍ෂුව තමා ගැන “ශ්‍රද්ධාවෙන්ද ... මෙපමණකින් යුක්ත වෙමි” යි දනීද, එහෙයින් අත්තඤ්ඤූ යයි කියනු ලැබේ. මෙසේ ධම්මඤ්ඤූ, අත්ථඤ්ඤූ, අත්තඤ්ඤූ වේ.
(4) ප්‍රමාණය දන්නා තැනැත්තේ කෙසේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුව සිවුරු, පිණ්ඩාහාර, සෙනසුන්, ගිලන්පස, බෙහෙත් පිරිකර පිළිගැනීමේ ප්‍රමාණය දනී. මහණෙනි, ඉදින් භික්‍ෂුව සිවුරු ... පිළිගැනීමේ ප්‍රමාණය නොදන්නේ නම්, මේ ශාසනයෙහි මත්තඤ්ඤූ (ප්‍රමාණය දන්නා) යයි නොකියනු ලැබේ. මහණෙනි, යම් හෙයකින් වනාහි භික්‍ෂුව සිවුරු ... පිළිගැනීමේ ප්‍රමාණය දන්නේද, එහෙයින් මත්තඤ්ඤූ යයි කියනු ලැබේ. මෙසේ ධම්මඤ්ඤූ, අත්ථඤ්ඤූ, අත්තඤ්ඤූ, මත්තඤ්ඤූ වේ.
(5) කාලය දන්නා කෙසේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුව කාලය දනී: “උදෙසීමට (ඉගෙනීමට) මේ කාලය වේ, ප්‍රශ්න කිරීමට මේ කාලය වේ, භාවනාවට (වීර්යය වැඩීමට) මේ කාලය වේ, විවේක වාසයට මේ කාලය වේ” යයි. මහණෙනි, ඉදින් භික්‍ෂුව කාලය නොදන්නේ නම් ... කාලඤ්ඤූ (කාලය දන්නා) යයි නොකියනු ලැබේ. මහණෙනි, යම් හෙයකින් වනාහි භික්‍ෂුව කාලය දනීද ... එහෙයින් කාලඤ්ඤූ යයි කියනු ලැබේ. මෙසේ ධම්මඤ්ඤූ, අත්ථඤ්ඤූ, අත්තඤ්ඤූ, මත්තඤ්ඤූ, කාලඤ්ඤූ වේ.
(6) පිරිස ගැන දන්නා කෙසේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුව පිරිස දනී: “මේ ක්‍ෂත්‍රිය පිරිසය, මේ බ්‍රාහ්මණ පිරිසය, මේ ගෘහපති පිරිසය, මේ ශ්‍රමණ පිරිසය, එහි මෙසේ එළඹිය යුතුයි, මෙසේ සිටිය යුතුයි, මෙසේ (කටයුතු) කළ යුතුය, මෙසේ හිඳගත යුතුය, මෙසේ කථා කළ යුතුය, මෙසේ නිහඬ විය යුතුය”යි. මහණෙනි, ඉදින් භික්‍ෂුව පිරිස නොදන්නේ නම් ... පරිසඤ්ඤූ (පිරිස දන්නා) යයි නොකියනු ලැබේ. මහණෙනි, යම් හෙයකින් වනාහි භික්‍ෂුව පිරිස දනීද ... එහෙයින් පරිසඤ්ඤූ යයි කියනු ලැබේ. මෙසේ ධම්මඤ්ඤූ, අත්ථඤ්ඤූ, අත්තඤ්ඤූ, මත්තඤ්ඤූ, කාලඤ්ඤූ, පරිසඤ්ඤූ වේ.
(7) පුද්‌ගලපරෝපරය (පුද්ගලයන්ගේ උසස් පහත් බව) දන්නා කවරෙක් වේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුව විසින් කරුණු දෙකකින් පුද්ගලයෝ දැනගන්නා ලද්දාහු වෙත්. පුද්ගලයෝ දෙදෙනෙකි: එක් පුද්ගලයෙක් ආර්‍ය්‍යයන් වහන්සේලා දකිණු කැමතිවේ, එක් පුද්ගලයෙක් ආර්‍ය්‍යයන් වහන්සේලා නොදකිනු කැමතිවේ. යම් ඒ පුද්ගලයෙක් ආර්‍ය්‍යයන් වහන්සේලා නොදකිනු කැමති වේද, මෙසේ හෙතෙම ඒ කාරණයෙන් නින්දා කටයුතුය. යම් ඒ පුද්ගලයෙක් ආර්‍ය්‍යයන් වහන්සේලා දකිණු කැමති වේද, මෙසේ හෙතෙම ඒ කාරණයෙන් ප්‍රශංසා කටයුතුය.
ආර්‍ය්‍යයන් වහන්සේලා දකිණු කැමති පුද්ගලයෝ දෙදෙනෙකි: එක් පුද්ගලයෙක් සද්ධර්‍ම ශ්‍රවණයට කැමති වෙයි, එක් පුද්ගලයෙක් සද්ධර්‍ම ශ්‍රවණයට අකමැති වෙයි. යම් ඒ පුද්ගලයෙක් සද්ධර්‍ම ශ්‍රවණයට අකමැති වේද, මෙසේ හෙතෙම ඒ කාරණයෙන් නින්දා කටයුතුය. යම් ඒ පුද්ගලයෙක් සද්ධර්‍ම ශ්‍රවණයට කැමතිවේද, හෙතෙම ඒ කාරණයෙන් ප්‍රශංසා කටයුතුයි.
සද්ධර්‍මය අසනු කැමති පුද්ගලයෝ දෙදෙනෙකි: එක් පුද්ගලයෙක් කන් නමා බණ අසයි, එක් පුද්ගලයෙක් කන් නොනමා බණ අසයි. යම් ඒ පුද්ගලයෙක් කන් නොනමා බණ අසාද, හෙතෙම ඒ කාරණයෙන් නින්දා කටයුතුය, යම් ඒ පුද්ගලයෙක් කන් නමා බණ අසාද, හෙතෙම ඒ කාරණයෙන් ප්‍රශංසා කටයුතුය.