7. 2. 2. 3.
3. පච්චන්ත නගරෝපම සූත්‍රය
[සැවැත් නුවර නිදානයයි]
67. “මහණෙනි, යම් හෙයකින් වනාහි රජහුගේ පිටිසරබද නගරය සප්ත නගර ආරක්‍ෂාවලින් මනාකොට පිළියෙල කරණ ලද්දේ වේද, චතුර්විධ ආහාරයන්ගේ පහසුවෙන් ලැබීමද, මඳ උත්සාහයෙන් ලැබීමද, නිදුකින් ලැබීමද සිදුවේද, මහණෙනි, රජහුගේ ප්‍රත්‍යන්ත නගරයට, බාහිරවූ, පස මිතුරුවූ, සතුරන් විසින් කිසිවක් නොකට හැකියයි මෙය කියනු ලැබේ.
කවර සතකින්ද යත්:
(1) මහණෙනි, මෙහි රජහුගේ පිටිසරබද නගරයෙහි මනාකොට සිටුවන ලද ස්ථිරවූ, නොසෙල්වෙන ඉන්‍ද්‍රඛීලයක් (නුවර ඉම සවි වෙන කනුවක්) ඇත්තේ වෙයි. මේ පළමුවන නගරාරක්‍ෂාවෙන් (2) රජහුගේ පිටිසරබද නගරය අන්‍යයන්ගේ වැළැක්වීමෙන්ද, අභ්‍යන්තර ආරක්‍ෂාවෙන්ද, මනාකොට ආරක්‍ෂා කරණ ලද්දේ වෙයි.
(2) “මහණෙනි, නැවතද රජහුගේ පිටිසරබද නගරයෙහි ගැඹුරුවූද, පළල්වූද, දිය අගල් කරණ ලද්දේ වෙයි. මේ දෙවන නගරාරක්‍ෂාවෙන් රජහුගේ පිටිසරබද නගරය අන්‍යයන්ගේ වැළැක්වීමෙන්ද, අභ්‍යන්තර ආරක්‍ෂාවෙන්ද, මනාකොට ආරක්‍ෂා කරණ ලද්දේ වෙයි.
(3) “නැවතද මහණෙනි, රජහුගේ පිටිසරබද නගරයෙහි උස්වූද, පළල්වූද, වටේ යෑමට පාරවල් වෙයි. මේ තුන්වන නගරාරක්‍ෂාවෙන් රජහුගේ පිටිසරබද නගරය අන්‍යයන්ගේ වැළැක්වීමෙන්ද, අභ්‍යන්තර ආරක්‍ෂාවෙන්ද, මනාකොට ආරක්‍ෂා කරණ ලද්දේ වෙයි.
(4) “නැවතද මහණෙනි, රජහුගේ පිටිසරබද නගරයෙහි ලහපත්ද, ජෙවනිකද බොහෝ ආවුධද රැස් කරණ ලද්දේ වෙයි. මේ සතරවන නගරාරක්‍ෂාවෙන් රජහුගේ පිටිසරබද නගරය අන්‍යයන්ගේ වැළැක්වීමෙන්ද, අභ්‍යන්තර ආරක්‍ෂාවෙන්ද, මනාකොට ආරක්‍ෂා කරණ ලද්දේ වෙයි.
(5) “නැවතද මහණෙනි, රජහුගේ පිටිසරබද නගරයෙහි බොහෝ බල පිරිස වාසය කරයි. එනම්, ඇතුන් පිට නැගි පිරිස, අසුන් නැගි පිරිස, රිය නැගි, දුනු ගත්, වස්ත්‍ර සොළවන, ආහාර දෙන පිරිසද, උසස්වූ රාජ පුත්‍රයෝද, පණින්නාවූ මහා ඇත්තුද, ශූරවූ පැලුම්කරුවෝද, චර්ම යොධිහුද, දාසක පුත්‍රයෝද, යන මේ පස්වැනිවූ නගරාරක්‍ෂාවෙන් රජහුගේ පිටිසරබද නගරය අන්‍යයන්ගේ වැළැක්වීමෙන්ද, අභ්‍යන්තර ආරක්‍ෂාවෙන්ද, මනාකොට ආරක්‍ෂා කරණ ලද්දේ වෙයි.
(6) “නැවතද මහණෙනි, රජහුගේ පිටිසරබද නගරයෙහි පණ්ඩිතවූ, ව්‍යක්තවූ, නුවණැති, නොහඳුනන්නවුන් වළක්වන, හඳුනන්නවුන් ඇතුල් කරණ දොරටු පාලයෙක් වෙයි. මේ සවන නගරාරක්‍ෂාවෙන් රජහුගේ පිටිසරබද නගරය අන්‍යයන්ගේ වැළැක්වීමෙන්ද, අභ්‍යන්තර ආරක්‍ෂාවෙන්ද, මනාකොට ආරක්‍ෂා කරණ ලද්දේ වෙයි.
(7) “නැවතද මහණෙනි, රජහුගේ පිටිසරබද නගරයෙහි උස්වූද, පළල්වූද, වර්ණාලේප පිරියම් කරණ ලද්දාවුද, ප්‍රාකාරයක් වෙයි. මේ සත්වන නගරාරක්‍ෂාවෙන් රජහුගේ පිටිසරබද නගරය අන්‍යයන්ගේ වැළැක්වීමෙන්ද, අභ්‍යන්තර ආරක්‍ෂාවෙන්ද, මනාකොට ආරක්‍ෂා කරණ ලද්දේ වෙයි.
මේ සප්ත නගරාරක්‍ෂාවලින් මනාකොට ආරක්‍ෂා කරණ ලද්දේ වේ.
කවර සතර ආහාරයකගේ පහසුවෙන් ලැබීම, මඳ උත්සාහයෙන් ලැබීම, නිදුකින් ලැබීම වේද:
(1) මහණෙනි, මෙහි රජුගේ පිටිසරබද නගරයෙහි අභ්‍යන්තරිකයන්ගේ ඇල්ම පිණිස, පීඩා නොවීම පිණිස, පාසුවිහරණය පිණිස, පිටතින් පැමිණෙන්නන් දුරු කිරීම පිණිස බොහෝ තෘණ, දර, ජලය රැස් කරණ ලද්දේ වෙයි.