7. 2. 2. 2.
[සත්තසුරියුග්ගමන සූත්‍රය]
13. “එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විශාලා නගරය සමීපයෙහිවූ අම්බපාලී වනයෙහි වැඩ වසන සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” යි භික්‍ෂූන් ඇමතූ සේක. “ස්වාමීනි,” යි ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට ප්‍රති වචන දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, සංස්කාරයෝ අනිත්‍යයහ. මහණෙනි, සංස්කාරයෝ අස්ථිරයහ. මහණෙනි, සංස්කාරයෝ සැනසීම් රහිතයහ. මහණෙනි, යම් බඳුවූ මේ සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුය. නොඇලීමට සුදුසුය. විශේෂයෙන් මිදීමට සුදුසුය.
මහණෙනි, මේරු පර්‍වත රාජයා දිගින් යොදුන් අසූ සාර දහසෙකි. පළලින් යොදුන් සාර දහසෙකි. යොදුන් අසූසාර දහසක් මුහුදෙහි ගිලී සිටියේය. යොදුන් අසූසාර දහසක් මුහුදින් උඩට නැගී සිටියේය.
“මහණෙනි, මෙබඳු කාලයක් වන්නේමය. (කෙබඳුද?) බොහෝ අවුරුදු ගණනකින්, බොහෝ අවුරුදු සිය ගණනකින්, බොහෝ අවුරුදු දහස් ගණනකින්, බොහෝ අවුරුදු ලක්‍ෂ ගණනකින්, වර්‍ෂාව නොවසියි. මහණෙනි, වර්‍ෂාව නොවස්නා කල්හි යම් ඒ ඇට වර්‍ග ගස් වැල් ඖෂධ ජාති හා වන ප්‍රදේශයෝ ඇද්ද, ඒ සියල්ල වියලී යත්. නොපැළවෙත්.
එසේම මහණෙනි, සංස්කාරයෝ අනිත්‍යයහ. මහණෙනි, සංස්කාරයෝ අස්ථිරයහ. මහණෙනි, සංස්කාරයෝ සැනසීම් රහිතයහ. මහණෙනි, යම් බඳුවූ මේ සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුය. නොඇලීමට සුදුසුය. විශේෂයෙන් මිදීමට සුදුසුය.
“මහණෙනි, කවර කලෙක හෝ දීර්‍ඝ කාලයක් ඇවෑමෙන් දෙවෙනි සූර්‍ය්‍යයා පහළ වේද, එබඳු කාලයක් වේමය. මහණෙනි, දෙවෙනි සුර්‍ය්‍යයා පහළ වීමෙන් යම් ඒ කුඩා ඇල, දොළ, වළවල් ඇද්ද, ඒවා සිඳෙත්. වියලී යත්. නොවෙත්.
එසේම මහණෙනි, සංස්කාරයෝ අනිත්‍යයහ. මහණෙනි, සංස්කාරයෝ අස්ථිරයහ. මහණෙනි, සංස්කාරයෝ සැනසීම් රහිතයහ. මහණෙනි, යම් බඳුවූ මේ සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුය. නොඇලීමට සුදුසුය. විශේෂයෙන් මිදීමට සුදුසුය.
“මහණෙනි, කවර කාලයෙක හෝ දීර්‍ඝ කාලයක් ඇවෑමෙන් තුන්වෙනි සූර්‍ය්‍යයා පහළ වේද, එබඳු කාලයක් වේමය. මහණෙනි, තුන්වෙනි සුර්‍ය්‍යයා පහළ වීමෙන් යම්කිසි ඒ මහා ගංගා වෙද්ද, ඒ කවරහුද, ගංගා, යමුනා, අචිරවතී, සරභූ, මහී (යන මේ ගංගාවෝ) වියලී යත්. සිඳෙත්. නොවෙත්.
එසේම මහණෙනි, සංස්කාරයෝ අනිත්‍යයහ. මහණෙනි, සංස්කාරයෝ අස්ථිරයහ. මහණෙනි, සංස්කාරයෝ සැනසීම් රහිතයහ. මහණෙනි, යම් බඳුවූ මේ සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුය. නොඇලීමට සුදුසුය. විශේෂයෙන් මිදීමට සුදුසුය.
“මහණෙනි, කවර කාලයෙක හෝ දීර්‍ඝ කාලයක් ඇවෑමෙන් සතරවෙනි සූර්‍ය්‍යයා පහළ වේද, එබඳු කාලයක් වේමය. මහණෙනි, සතරවෙනි සුර්‍ය්‍යයාගේ පහළ වීමෙන් යම් තැන්වලින් මේ මහා ගංගා ඇතිවන්නාහු නම්, යම් මහ විල් වෙද්ද, එනම්, අනවතප්ත, සිංහප්‍රපාත, රථකාර, කර්‍ණමුණ්ඩ, ඡද්දන්ත, මන්දාකිනී යන විල්හු වියලෙත්. සිඳෙත්. නොවෙත්.
එසේම මහණෙනි, සංස්කාරයෝ අනිත්‍යයහ. මහණෙනි, සංස්කාරයෝ අස්ථිරයහ. මහණෙනි, සංස්කාරයෝ සැනසීම් රහිතයහ. මහණෙනි, යම් බඳුවූ මේ සංස්කාරයන් කෙරෙහි කලකිරීමට සුදුසුය. නොඇලීමට සුදුසුය. විශේෂයෙන් මිදීමට සුදුසුය.