7. 1. 5. 9.
[වම්පෙය්‍යක දානානිසංස සූත්‍රය]
52. “එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ චම්පා නගරය සමිපයෙහිවු ගර්‍ගරා පොකුණු තෙර වැඩ වසණ සේක. එකල්හි බොහෝ චම්පා නගර වැසි උපාසකවරු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියහ. පැමිණ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ. එකත්පසෙක සිටියාවූ චම්පා නගර වැසි උපාසකවරු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙය සැළ කළහ.
“ස්වාමිනි, ශාරීපුත්‍රයන් වහන්ස, අපි භාග්‍යවතුන් වහන්සේ හමුවෙන් දැහැමි කථාවක් අසා බොහෝ කල් වෙමු. ස්වාමිනි, අපි භාග්‍යවතුන් වහන්සේ සමිපයෙහි දැහැමි කථාවක් අසමු නම් ඉතා යහපති.”
“එසේ නම් ඇවැත්නි, පැමිණ සිටි උපෝසථ දිනයෙහි පැමිනෙනු මැනවි. භාග්‍යවතුන් වහන්සේ සමිපයෙන් දැහැමි කථාවක් ඇසීම ඉතා යහපති.” “එසේය ස්වාමිනි,” යි ඒ චම්පා නගර වැසි උපාසකවරු ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට පිළිතුරු දී, අසුන්වලින් නැගිට, උන්වහන්සේට වැඳ, පැදකුණු කොට ගියහ.
“ඉක්බිති ඒ චම්පා නගර වැසි උපාසකවරු පැමිණ සිටි උපෝසථ දිනයෙහි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියහ. පැමිණ, ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියාහ.
ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ඒ චම්පා නගර වැසි උපාසකවරුන් සමග භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැන්හි පැමිණියහ. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්හ. එකත්පසෙක සිටියාවූ ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ.
“ස්වාමිනි, මේ ලෝකයෙහි ඇතැමකුට එබඳුවූ දානයක් දෙන ලද්දේ මහත් ඵල නොවුයේ වන්නේද, මහානිශංස නොවූයේ වන්නේද, ස්වාමිනි, මේ ලෝකයෙහි ඇතැමකුට එබඳුවූ දානයක් දෙන ලද්දේ මහත්ඵල වූයේ වන්නේද, මහානිශංස වූයේ වන්නේද?”
“ශාරීපුත්‍රය, මේ ලෝකයෙහි ඇතැමකුට එබඳුවු දානයක් දෙන ලද්දේ මහත්ඵල නොවූයේ, මහානිශංස නොවූයේ වන්නේය. ශාරීපුත්‍රය, මේ ලෝකයෙහි ඇතැමකුට එබඳුවු දානයක් දෙන ලද්දේ මහත්ඵල වූයේ, මහානිශංස වූයේ වන්නේය.”
“ස්වාමිනි, මේ ලෝකයෙහි ඇතැමකුට එබඳුවු දානයක් දෙන ලද්දේ මහත්ඵල නොවූයේ, මහානිශංස නොවූයේ ස්වාමීනි, එයට හේතු කවරේද? එයට ප්‍රත්‍යය කවරේද? ස්වාමිනි, මේ ලෝකයෙහි ඇතැමකුට එබඳුවු දානයක් දෙන ලද්දේ මහත්ඵල වූයේ, මහානිශංස වූයේ ස්වාමීනි, එයට හේතු කවරේද? එයට ප්‍රත්‍යය කවරේද?”
(1) “ශාරීපුත්‍රය, මේ ලෝකයෙහි ඇතැමෙක් බලාපොරොත්තු සහිතව දන් දෙයි, ඇලුනු සිතැතිව දන්දෙයි, රැස්කිරීම් සිතැතිව දන් දෙයි, මෙය පරලොවදී අනුභව කරන්නෙමියි දන් දෙයි. හෙතෙම ආහාර, පාන, වස්ත්‍ර, යාන, මල්-සුවඳ-විලවුන්, නිදන දේ, ගෘහ පහන් යන මෙයින් ඒ දානය දෙයි.
“ශාරීපුත්‍රය, මේ ලෝකයෙහි ඇතැමෙක් මෙබඳුවු දන් දෙන්නේය. එය කුමකැයි සිතන්නෙහිද?” “එසේය ස්වාමිනි.”
“ශාරීපුත්‍රය, එහි යමෙක් බලාපොරොත්තු ඇතිව දන් දෙයි, පටිබද්ධචිත්තව දන් දෙයි, රැස් කිරීම් සිතැතිව දන් දෙයි, මෙය පරලොවදී අනුභව කරන්නෙමියි දන් දෙයි. හෙතෙම ඒ දානය දි, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු චාතුර්මහාරාජික දෙවියන් අතර උපදියි. හෙතෙම ඒ කර්‍මය, ඒ ඎද්ධිය, ඒ යශස, ඒ අධිපති භාවය ගෙවා මෙලොවට එන සුළුවූයේ වෙයි.
(2) “ශාරීපුත්‍රය, මේ ලෝකයෙහි ඇතැමෙක් බලාපොරොත්තු සහිතව දන් නොම දෙයි, න පටිබද්ධචිත්තව දන් දෙයි, රැස් කිරීම් සිතැතිව දන් නොම දෙයි, මෙය පරලොවදී අනුභව කරන්නෙමියි දන් නොම දෙයි. එසේ නමුදු දානය යහපත්යයි දන් දෙයි.
(3) දානය යහපත්යයි ද දන් නොදෙයි. පිය, මුතු, මි මුතුන් විසින් පෙර දෙන ලද්දේය, පෙර කරණ ලද්දේය, කුල වංශය පුරාණ දේ අත් හරින්ට නුසුදුසු වෙමියි දන් දෙයි.
(4) පිය, මි මුතුන් විසින් පෙර දෙන ලද්දේය, පෙර කරණ ලද්දේය, කුල වංශය පුරාණ දේ අත් හරින්ට නුසුදුසු වෙමියි ද දන් නොදෙයි. එහෙත් ‘මම පිසමි, මොවුහු නොපිසිත්, පිසන්නා නොපිසන්නට නොදීම නුසුදුසුය’ යි (සිතා) දන් දෙයි.
(5) ‘මම පිසමි ඉමෙ න පචන්ති, නාරහාමි පචන්තො අපචන්තානං දානං අදාතුන්ති’ ද දන් නොදෙයි. එහෙත් යම්සේ ඔවුන්ගේ පෙර ඎෂීන්ගේ මහා යාගයෝ වූහ. ඒ කෙසේද? අට්ටක, වාමක, වාමදේව, වෙස්සාමිත්ත, යමතග්ගී, අංගීරස, භාරවාජ, වාසෙට්ඨ, කස්සප, භගු යන මොවුන්ගේය. මෙසේ මාගේ මේ දාන සංවිභාගය වන්නේයයි දන් දෙයි.
(6) යම්සේ ඔවුන්ගේ පෙර ඎෂීන්ගේ මහා යාගයෝ වූහ. ඒ කෙසේද? අට්ටක, වාමක, වාමදේව, වෙස්සාමිත්ත, යමතග්ගී, අංගීරස, භාරවාජ, වාසෙට්ඨ, කස්සප, භගු යන මොවුන්ගේය. එවැනි දාන සංවිභාගය වන්නේයයි ද දන් නොදෙයි. එහෙත් මාගේ මේ දානය දෙනුයේ සිත පහදියි, සතුටුවීමෙන් සොම්නස උපදියයි දන් දෙයි.
(7) ‘මේ දානය දෙනුයේ සිත පහදියි, සතුටුවීමෙන් සොම්නස උපදිය’ යි ද දන් නොදෙයි. එහෙත් චිත්තාලංකාරය පිණිස සිතට වුවමනා දේ පිණිස යයි දන් දෙයි. හෙතෙම පැවිද්දෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ ආහාර පාන, වස්ත්‍ර, යාන, මල් සුවඳ විලවුන්, නිදන දේ, ගෘහ, පහන් යන මෙයින් ඒ දානය දෙයි.
“ශාරීපුත්‍රය, මේ ලෝකයෙහි ඇතැමෙක් මෙබඳුවූ දන් දෙන්නේය. එය කුමකැයි සිතන්නෙහිද?” “එසේය ස්වාමිනි.”