7. 1. 5. 10.
[(වෙළුකණ්ටකී) නන්‍දමාතු සූත්‍රය]
53. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් මහා මොග්ගල්ලායන ස්ථවිරයන් වහන්සේද මහත්වූ භික්‍ෂු සංඝයා සමග දක්‍ෂිණගිරියෙහි චාරිකාවෙහි හැසිරෙත්. එකල්හි වනාහි වෙළුකණ්ඨකී නම් නන්‍දමාතා උපිසිකාව රෑ අළුයම් කාලයෙහි නැගිට පාරායන සූත්‍රය හඬනගා කියයි.
එකල්හි වනාහි වෛශ්‍රවණ මහරජතෙම යම් කිසිවක් සඳහා උතුරු දිශාවෙන් දකුණු දිශාවට යයි. නන්‍දමාතා උපාසිකාවගේ පාරායන සූත්‍රය ශබ්දනගා කිම වෛශ්‍රවණ මහරජතෙම ඇසුවේය. අසා, කථාවේ කෙළවර බලාපොරොත්තුවෙන් සිටියේය. ඉක්බිති නන්‍ද මාතා උපාසිකාව පාරායන සූත්‍රය ශබ්ද නගා කියා නිශ්ශබ්ද විය.
ඉක්බිති වෛශ්‍රවණ මහරජතෙම නන්‍දමාතා උපාසිකාවගේ කතාවේ කෙළවර දැන, “සාධු! භගිනි, සාධු! භගිනී,” යි අනුමෝදන් විය.
“හොඳ වචන ඇත්ත, මේ (ඔබ) කවරෙක්ද?”
“සොහොයුරිය, මම ඔබේ සහෝදර වෛශ්‍රවණ මහරජය.”
“සාධු භද්‍රමුඛයෙනි, එසේ නම් මා විසින් යම් මේ ධර්ම පරියායක් කියන ලද්දේද, මෙය ඔබට ආගන්තුක සත්කාරය වේවා.”
“සොහොයුරිය, යහපති. එය මට ආගන්තුක සත්කාරය වේවා. හෙට සැරියුත් මුගලන් දෙනම ප්‍රමුඛ භික්‍ෂු සමුහය උදය නොවළඳා වෙළුකණ්ඨකයට වඩිත්. ඒ භික්‍ෂු සංඝයා වළඳවා, මට දානය අනුමෝදන් කරන්නෙහිය. මෙසේත් මට ආගන්තුක සත්කාරය වන්නේය.”
ඉක්බිත්තෙන් වනාහි නන්‍ද මව් වු උපාසිකාව රැය එළිවූවිට, තමාතේ ගෙහි රසවත් කෑම් පීම් පිළියෙළ කරවීය. ඉක්බිත්තෙන් වනාහි සැරියුත් මුගලන් ප්‍රමුඛ භික්‍ෂු සංඝයා උදය නොවළඳා වේළුකණ්ඨකයට පැමිණියහ.
ඉක්බිති නන්‍දමාතා උපාසිකාව එක්තරා පුරුෂයෙකුට කථා කළාය: “පින්වත් පුරුෂය, එව. ඔබ පන්සලට ගොස්, ‘ස්වාමීනි, ආර්යයන්ට මේ කාලය වේ. නන්‍දමාතා ආර්‍ය්‍යාවගේ ගෘහයෙහි දානය පිළියෙළ වීය’ යි ආරාමයට ගොස් භික්‍ෂු සංඝයාට කාලය දන්වව.’ “එසේය, ආර්‍ය්‍යාවෙනි.” යි ඒ පුරුෂතෙම නන්‍දමාතා උපාසිකාවට පිළිතුරු දී, ආරාමයට ගොස් ‘ස්වාමීනි, මේ කාලය වේ. නන්‍දමාතා ආර්‍ය්‍යාවගේ ගෘහයෙහි දානය පිළියෙළ වීය’ යි භික්‍ෂු සංඝයාට කාලය දැන්වීය.
ඉක්බිති සැරියුත් මුගලන් දෙනම ප්‍රමුඛ භික්‍ෂු සංඝතෙම පෙරවරු කාලයෙහි හැඳ පොරවා පා සිවුරු ගෙන, නන්‍දමාතා උපාසිකාවගේ ගෘහය යම් තැනකද, එතැන්හි වැඩියහ. එසේ වැඩ, පැනවූ අස්නෙහි හිඳගත්හ.
ඉක්බිති, නන්‍දමාතා උපාසිකාව, සැරියුත් මුගලන් දෙනම ප්‍රමුඛ භික්‍ෂු සංඝයා ප්‍රණිතවූ කෑම් පීම්වලින් සියතින් මනාකොට පැවරුයේය. ඉක්බිති නන්‍දමාතා උපාසිකාව වළඳන ලද පාත්‍රයෙන් අත බහා තබන ලද සැරියුත් මහ තෙරුන් වහන්සේ එකත්පසෙක හුන් නන්‍ද මව් වූ උපාසිකාවට ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ මෙය වදාළ සේක:
“නන්‍දමාතාව, කවරෙක් නම් භික්‍ෂු සංඝයාගේ පැමිණිම ඔබට කීවේද?”
“ස්වාමීනි, මම මෙහිරෑ අපයම් වේලෙහි නින්දෙන් නැගිට පාරායණ සූත්‍රය හඬනගා කියා නිශ්ශබ්ද වූයෙමි. ස්වාමීනි, ඉක්බිත්තෙන් වනාහි වෛශ්‍රවණ මහා රජ තෙම මා කීම අවසන් කළා දැන, ‘සොහොයුරිය, සාධු, සාධු’ යි අනුමෝදන් විය.”
“‘හොඳ වචන ඇත්ත, මේ (ඔබ) කවරෙක්ද?’ ‘සොහොයුරිය, මම ඔබේ සහෝදර වෛශ්‍රවණ මහරජය.’”
“‘හොඳ වචන ඇත්ත, හොඳයි. මෙයමත් මට වේවා. හෙට සැරියුත් මුගලන් දෙනම ප්‍රමුඛ භික්‍ෂු සමුහය උදය නොවළඳා වෙළුකණ්ඨකයට වඩිත්. ඒ භික්‍ෂු සංඝයා වළඳවා, මට දානය අනුමෝදන් කරන්නෙහිය. මෙසේත් මට ආගන්තුක සත්කාරය වන්නේය’ යි කීය. ස්වාමීනි, යම් මේ දානයක් වේද, ඒ පින වෛශ්‍රවණ මහරජහට යහපත පිණිස වේවා.”
(1) “ආශ්චර්යයි නන්‍දමාතාවෙනි, අද්භූතයි නන්‍දමාතාවෙනි. යමෙකදී වෛශ්‍රවණ මහරජු වැනි මෙබඳු බොහෝ ඎද්ධි ඇති, මෙබඳු මහෙශාඛ්‍යවූ, දෙව් පුතුන් හා සම්මුඛව, සමගි කථාවන් කරන්නේද.”
(2) “ස්වාමීනි, මට මේ පුදුම ආශ්චර්‍ය්‍ය කාරණය මේ ම නොවේ. ස්වාමීනි, මට අනෙකුත් පුදුම ආශ්චර්ය කාරණයක් ඇත:
“ස්වාමීනි, මෙහි මාගේ ප්‍රියවූ, මනාපවූ නන්‍දක නම්වූ එක් පුත්‍රයෙක් විය. ඔහු රජවරු කිසියම් කරුණක් නිසා හිංසා කොට බලහත්කාරයෙන් දිවි තොර කළහ. ස්වාමීනි, ඒ අවස්ථාවෙහි දරුවා ගන්නා ලද කල්හි හෝ, ගණු ලබන කල්හි හෝ, බැඳි කල්හි හෝ, වද දෙන කල්හි හෝ, නැසූ කල්හි හෝ, නසනු ලබන කල්හි හෝ, සිත වෙනස්වූ බවක් මම නොදනිමි.”