5. මහායඤ්ඤ වර්ගය
7. 1. 5. 1.
1. විඤ්ඤාණඨිති සූත්රය
සැවැත් නුවරදී ය.
44. “මහණෙනි, මේ විඥාන ස්ථිති (සිත පැවතීම්) සතක් වෙති. “කවර සතක්ද යත්?
මහණෙනි, නානත්තකාය නානත්ත සංඥීවූ සත්ත්වයෝ ඇත්තාහ. සමහර මනුෂ්යයෝද ඇතැම් දෙවියෝද, ඇතැම් විනිපාතිකයෝ (අපායගතහු) ද වෙති. මේ ප්රථම (පළමු) විඥානස්ථිතියයි.
මහණෙනි, නානත්තකායවූද ඒකත්ත සංඥීවූද සත්ත්වයෝ ඇත්තාහ. සමහර දෙවියෝද ප්රථමයෙන් පහළවූ ඇතැම් බ්රහ්මකායිකයෝද වෙති. මේ දෙවෙනි විඥානස්ථිතියයි.
මහණෙනි, ඒකත්ත කායවූද නානත්ත සංඥීවූද සමහර සත්ත්වයෝ ඇත්තාහ. ඇතැම් ආභසස්ර දෙවියෝ වෙති. මේ තුන්වෙනි විඥානස්ථිතියයි.
මහණෙනි, ඒකත්ත කායනම්වූද, ඒකත්ත සංඥීවූද ඇතැම් සත්ත්වයෝ ඇත්තාහ. ඇතැම් සුභකිණ්හ දෙවියෝ වෙති. මේ සතරවෙනි විඥානස්ථිතියයි.
මහණෙනි, සර්වප්රකාරයෙන් රූප සංඥාව දුරුකොට, පඨිඝ සංඥාව අස්තංගමකොට (නොපෙනෙනු කොට) නානත්ත සංඥාවන් සිහි නොකිරීමෙන් අනන්ත ආකාශයයි ආකාශානඤ්චායතනයට පැමිණියාවූ සත්ත්වයෝ ඇත්තාහ. මේ පස්වැනි විඥානස්ථිතියයි.
මහණෙනි, සර්වප්රකාරයෙන් ආකාශානඤ්චායතනය දුරුකොට, අනන්ත විඤ්ඤාණයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණියාවූ ඇතැම් සත්ත්ව කෙනෙක් ඇත්තාහ. මේ සයවෙනි විඤ්ඤාණස්ථිතියයි.
මහණෙනි, සර්වප්රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය දුරුකොට, කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණියාවූ ඇතැම් සත්ත්ව කෙණෙක් ඇත්තාහ. මේ සත්වන විඤ්ඤාණස්ථිතියයි.
මහණෙනි, මේ විඤ්ඤාණස්ථිති සත වෙති.
7. 1. 5. 2.
2. සමාධිපරික්ඛාර සූත්රය
සැවැත් නුවරදී ය.
45. “මහණෙනි, මේ සමාධි පරිෂ්කාරයෝ (උවමනා දේ) සතක් වෙති. “කවර සතක්ද යත් ?
සම්යක් දෘෂ්ටිය, සම්යක් සංකල්පය, සම්යක් වචනය, සම්යක් කර්මාන්තය, සම්යක් ආජීවය, සම්යක් ව්යායාමය, සම්යක් ස්මෘතියද වෙති.
මහණෙනි, යමක් මේ සප්තාඞ්ගයන්ගෙන් චිත්තයාගේ ඒකාග්රතාවන් (සිත එකඟකමින්) වට කරණ ලද්දේද, මහණෙනි, මේ ආර්ය්ය සම්යක් සමාධියයි කියණු ලැබේ.”
7. 1. 5. 3.
3. සත්තග්ගි සූත්රය
සැවැත් නුවරදී ය.
46. “මහණෙනි, මේ ගිනි සතක් වෙති. කවර සතක්ද යත්?
රාගය නමැති ගින්න, ද්වේෂය නමැති ගින්න, මෝහය නමැති ගින්න, ආහුණෙය්ය නමැති ගින්න, ගෘහපති නමැති ගින්න, දක්ෂිණෙය්ය නමැති ගින්න, දරවලින් ඇතිවන ගින්න, යනුයි. මහණෙනි, මේ සප්ත අග්නීහු වෙති.”
7. 1. 5. 4.
4. මහාසඤ්ඤ (උග්ගත ශරීර) සූත්රය
47. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු මහ සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි උග්ගත ශරීර නම් බ්රාහ්මණයාගේ මහා යාගයක් එළඹියේ වෙයි. පන්සියයක් ගවයෝ යාගය පිණිස යාග කණුවෙහි යොදන ලද්දේ විය. පන්සියයක් ලොකු වස්සෝ යාගය පිණිස යාග කණුවෙහි යොදන ලද්දේ විය. පන්සියයක් ලොකු වැස්සියෝ යාගය පිණිස යාග කණුවෙහි යොදන ලද්දේ විය. පන්සියයක් එළුවෝ යාගය පිණිස යාග කණුවෙහි යොදන ලද්දේ විය. පන්සියයක් බැටළුවෝ යාගය පිණිස යාග කණුවෙහි යොදන ලද්දේ විය.
එකල්හි උග්ගත ශරීර නම් බ්රාහ්මණයා භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටුවිය යුතු, සිහි කටයුතු කථාව කොට නිමවා එකත් පසෙක සිටියේය. එකත්පසෙක සිටියාවූ උග්ගත ශරීර නම් බ්රාහ්මණයා භාග්යවතුන් වහන්සේට මෙය සැළකළේය.
“භවත් ගෞතමයන් වහන්ස, ගිනි පිදීම, යාග කණුව එසවීම මහත්ඵල, මහානිශංස ඇතැයි මා විසින් අසන ලදී.”
“බ්රාහ්මණය, ගිනි පිදීම, යාග කණුව එසවීම මහත්ඵල, මහානිශංස ඇතැයි මා විසින්ද අසන ලදී.”
උග්ගත ශරීර නම් බ්රාහ්මණ තෙම දෙවෙනි වරටද, තුන්වෙනි වරටද “භවත් ගෞතමයන් වහන්ස, ගිනි පිදීම, යාග කණුව එසවීම මහත්ඵල, මහානිශංස ඇතැයි මා විසින් අසන ලදී.” යන මෙය භාග්යවතුන් වහන්සේට සැළකළේය. “බ්රාහ්මණය, ගිනි පිදීම, යාග කණුව එසවීම මහත්ඵල, මහානිශංස ඇතැයි මා විසින්ද අසන ලදී.” “භවත් ගෞතමයන් වහන්ස, භවත් ගෞතමයන් වහන්සේගේ හා අපගේ, මේ කාරණයෙන් සර්වප්රකාරයෙන් සමත්වයක් ඇතිවූයේ වෙයි.”