6. 2. 4. 3.
3. සම්මත්ත සූත්‍රය
[සැවැත් නුවර නිදානයි]
33. “මහණෙනි, කරුණු සයකින් යුක්තවූ තැනැත්තේ, බණ අසන්නේ නමුදු කුශල ධර්මයන්හි තැන්පත්වූ නියම කළ දෙයට බැසගන්නට නොහැක්කේ වෙයි. කවර සයකින්ද:
මව මරණ ලද්දේ වේද, පියා මරණ ලද්දේ වේද, රහතුන් වහන්සේ මරන ලද්දේ වේද, දුෂ්ටවූ සිතින් තථාගතයන් වහන්සේගේ ශරීරයෙන් ලේ සොල්වන ලද්දේ වේද, සංඝ භේදය කරණ ලද්දේ වේද, ප්‍රඥා නැත්තේ වේද. මෝඩවූ කෙළතොලු කෙනෙක් වේද.
මහණෙනි, කරුණු සයකින් යුක්තවූ තැනැත්තේ, බණ අසන්නේ නමුදු කුශල ධර්මයන්හි තැන්පත්වූ නියම කළ දෙයට බැසගන්නට නොහැක්කේ වෙයි.
“මහණෙනි, කරුණු සයකින් යුක්තවූ තැනැත්තේ, බණ අසන්නේ නමුදු කුශල ධර්මයන්හි තැන්පත්වූ නියම කළ දෙයට බැසගන්නට හැක්කේ වෙයි. කවර සයකින්ද:
මව නොමරණ ලද්දේ වේද, පියා නොමරණ ලද්දේ වේද, රහතන් වහන්සේ නොමරණ ලද්දේ වේද, දුෂ්ටවූ සිතින් තථාගතයන් වහන්සේගේ ශරීරයෙන් ලේ නොසොල්වන ලද්දේ වේද, සංඝ භේදය නොකරණ ලද්දේ වේද, ප්‍රඥා ඇත්තේ වේද. මෝඩවූ කෙළතොලු කෙනෙක් නොවූයේද.
මහණෙනි, කරුණු සයකින් යුක්තවූ තැනැත්තේ, බණ අසන්නේ නමුදු කුශල ධර්මයන්හි තැන්පත්වූ නියම කළ දෙයට බැසගන්නට හැක්කේ වෙයි.
6. 2. 4. 4.
4. සුස්සූසන සූත්‍රය
[සැවැත් නුවර නිදානයි]
34. “මහණෙනි, ධර්‍ම සයකින් යුක්තවූ තැනැත්තේ බණ අසන්නේ නමුදු කුශල ධර්මයන්හි තැන්පත්වූ නියම කළ දෙයට බැසගන්නට නොහැක්කේ වෙයි. කවර සයකින්ද:
තථාගතයන් වහන්සේ විසින් දන්නා ලද ධර්‍ම විනය දේශනා කරණ කල්හි නොඅසාද. කණ නොනමාද. වෙන කරුණක් සිතට නගා ගනීද, අනර්ත්‍ථයක්ම ගනීද, අර්ත්‍ථය නොසලකා හරීද. පිළිවෙලින් තොරවූ ඉවසීමෙන් යුක්ත වේද.
මහණෙනි, ධර්‍ම සයකින් යුක්තවූ තැනැත්තේ බණ අසන්නේ නමුදු කුශල ධර්මයන්හි තැන්පත්වූ නියම කළ දෙයට බැසගන්නට නොහැක්කේ වෙයි.
“මහණෙනි, ධර්‍ම සයකින් යුක්තවූ තැනැත්තේ බණ අසන්නේ නමුදු කුශල ධර්මයන්හි තැන්පත්වූ නියම කළ දෙයට බැසගන්නට හැක්කේ වෙයි. කවර සයකින්ද:
තථාගතයන් වහන්සේ විසින් දන්නා ලද ධර්‍ම විනය දේශනා කරණ කල්හි අසාද. කන් නමාද. වෙන කරුණක් සිතට නගා නොගනීද, අර්ත්‍ථයක්ම ගනීද, අර්ත්‍ථය සලකාද. පිළිවෙලින් යුක්තවූ ඉවසීමෙන් යුක්ත වේද.
මහණෙනි, ධර්‍ම සයකින් යුක්තවූ තැනැත්තේ බණ අසන්නේ නමුදු කුශල ධර්මයන්හි තැන්පත්වූ නියම කළ දෙයට බැසගන්නට හැක්කේ වෙයි.
6. 2. 4. 5.
5. දිඨිසම්පදා සච්ඡීකරණ සූත්‍රය
[සැවැත් නුවර නිදානයි]
35. “මහණෙනි, කරුණු සයක් දුරු නොකොට සෝවාන් බව ලැබීමට නුසුදුසුය. කවර සයක්ද:
ආත්ම දෘෂ්ටිය, සැකය, අන්‍ය ශීල ව්‍රතයන් යහපත්යයි ගැනීම, අපායට යාමට හේතුවන රාගය, අපායට යාමට හේතුවන ද්වේෂය, අපායට යාමට හේතුවන මෝහය.
මහණෙනි, කරුණු සයක් දුරු නොකොට සෝවාන් බව ලැබීමට නුසුදුසුය.
“මහණෙනි, කරුණු සයක් දුරු කොට සෝවාන් බව ලැබීමට සුදුසුය. කවර සයක්ද:
ආත්ම දෘෂ්ටිය, සැකය, අන්‍ය ශීල ව්‍රතයන් යහපත්යයි ගැනීම, අපායට යාමට හේතුවන රාගය, අපායට යාමට හේතුවන ද්වේෂය, අපායට යාමට හේතුවන මෝහය.
මහණෙනි, කරුණු සයක් දුරු කොට සෝවාන් බව ලැබීමට සුදුසුය.