4. සීති වර්‍ගය
6. 2. 4. 1.
1. අනුත්තර සීතිභාව සූත්‍රය
[සැවැත් නුවර නිදානයි]
31. “මහණෙනි, කරුණු සයකින් යුක්තවූ භික්‍ෂුව නිරුත්තරවූ (එයට වඩා උසස් යමක් නැති) සංසිඳීම් ප්‍රත්‍යක්‍ෂ කරන්නට නුසුදුසුය. කවර සයකින්ද:
මහණෙනි, මේ සස්නෙහි භික්‍ෂුව යම් කලෙක සිතට නිග්‍රහ කටයුතු නම් ඒ කාලයෙහි සිතට නිග්‍රහ නොකෙරේද, යම් කලෙක සිත උත්සාහවත් කටයුතු නම්, ඒ කාලයෙහි සිත උත්සාහවත් නොකෙරේද, යම් කලෙක සිත උසස් කටයුතු නම්, ඒ කාලයෙහි සිත උසස් නොකෙරේද, යම් කලෙක සිත මධ්‍යස්ථ කටයුතු නම්, ඒ කාලයෙහි සිත මධ්‍යස්ථ නොකෙරේද, පහත් තත්ත්‍වයෙහි ඇලීම වේද, ආත්ම දෘෂ්ටියෙහි ඇලුනේ වේද.
මහණෙනි, කරුණු සයකින් යුක්තවූ භික්‍ෂුව නිරුත්තරවූ (එයට වඩා උසස් යමක් නැති) සංසිඳීම් ප්‍රත්‍යක්‍ෂ කරන්නට නුසුදුසුය.
“මහණෙනි, කරුණු සයකින් යුක්තවූ භික්‍ෂුව නිරුත්තරවූ සංසිඳීම ප්‍රත්‍යක්‍ෂ කරන්නට සුදුසුය. කවර සයකින්ද:
මහණෙනි, මේ සස්නෙහි භික්‍ෂුව යම් කලෙක සිතට නිග්‍රහ කටයුතු නම් ඒ කාලයෙහි සිතට නිග්‍රහ කෙරේද, යම් කලෙක සිත උත්සාහවත් කටයුතු නම්, ඒ කාලයෙහි සිත උත්සාහවත් කෙරේද, යම් කලෙක සිත උසස් කටයුතු නම්, ඒ කාලයෙහි සිත උසස් කෙරේද, යම් කලෙක සිත මධ්‍යස්ථ කටයුතු නම්, ඒ කාලයෙහි සිත මධ්‍යස්ථ කෙරේද, ප්‍රණීත දෙයෙහි ඇළුනේ වේද, නිර්‍වාණයෙහි ඇළුනේද.
මහණෙනි, කරුණු සයකින් යුක්තවූ භික්‍ෂුව නිරුත්තරවූ සංසිඳීම ප්‍රත්‍යක්‍ෂ කරන්නට සුදුසුය.
6. 2. 4. 2.
2. නියාමොක්කමන සූත්‍රය
[සැවැත් නුවර නිදානයි]
32 “මහණෙනි, කරුණු සයකින් යුක්තවූ තැනැත්තේ, බණ අසන්නේද, කුශල ධර්මයන්හි තැන්පත්වූ නියම කළ දෙයට බැසගන්නට නොහැක්කේ වෙයි. කවර සයකින්ද:
කර්‍මාවරණ බැවින් යුක්තවූයේ වේද, ක්ලේශාවරණ බැවින් යුක්තවූයේ වේද, අකුශල විපාකයකින් වැසුනේ වේද, සද්ධාව නැත්තේ වේද, බලවත් කැමැත්ත නැත්තේ වේද, ප්‍රඥාවත් නොවේද.
මහණෙනි, කරුණු සයකින් යුක්තවූ තැනැත්තේ, බණ අසන්නේද, කුශල ධර්මයන්හි තැන්පත්වූ නියම කළ දෙයට බැසගන්නට නොහැක්කේ වෙයි.
“මහණෙනි, කරුණු සයකින් යුක්තවූ තැනැත්තේ, බණ අසන්නේ, කුශල ධර්මයන්හි තැන්පත්වූ නියම කළ දෙයට බැසගන්නට හැක්කේ වෙයි. කවර සයකින්ද:
කර්‍මාවරණ බැවින් යුක්ත නොවූයේ වේද, ක්ලේශාවරණ බැවින් යුක්ත නොවූයේ වේද, අකුශල විපාකයකින් නොවැසුනේ වේද, සද්ධාව ඇත්තේ වේද, බලවත් කැමැත්ත ඇත්තේ වේද, ප්‍රඥාවත් වේද.
මහණෙනි, කරුණු සයකින් යුක්තවූ තැනැත්තේ, බණ අසන්නේ, කුශල ධර්මයන්හි තැන්පත්වූ නියම කළ දෙයට බැසගන්නට හැක්කේ වෙයි.
6. 2. 4. 3.
3. සම්මත්ත සූත්‍රය
[සැවැත් නුවර නිදානයි]
33. “මහණෙනි, කරුණු සයකින් යුක්තවූ තැනැත්තේ, බණ අසන්නේ නමුදු කුශල ධර්මයන්හි තැන්පත්වූ නියම කළ දෙයට බැසගන්නට නොහැක්කේ වෙයි. කවර සයකින්ද:
මව මරණ ලද්දේ වේද, පියා මරණ ලද්දේ වේද, රහතුන් වහන්සේ මරන ලද්දේ වේද, දුෂ්ටවූ සිතින් තථාගතයන් වහන්සේගේ ශරීරයෙන් ලේ සොල්වන ලද්දේ වේද, සංඝ භේදය කරණ ලද්දේ වේද, ප්‍රඥා නැත්තේ වේද. මෝඩවූ කෙළතොලු කෙනෙක් වේද.
මහණෙනි, කරුණු සයකින් යුක්තවූ තැනැත්තේ, බණ අසන්නේ නමුදු කුශල ධර්මයන්හි තැන්පත්වූ නියම කළ දෙයට බැසගන්නට නොහැක්කේ වෙයි.
“මහණෙනි, කරුණු සයකින් යුක්තවූ තැනැත්තේ, බණ අසන්නේ නමුදු කුශල ධර්මයන්හි තැන්පත්වූ නියම කළ දෙයට බැසගන්නට හැක්කේ වෙයි. කවර සයකින්ද:
මව නොමරණ ලද්දේ වේද, පියා නොමරණ ලද්දේ වේද, රහතන් වහන්සේ නොමරණ ලද්දේ වේද, දුෂ්ටවූ සිතින් තථාගතයන් වහන්සේගේ ශරීරයෙන් ලේ නොසොල්වන ලද්දේ වේද, සංඝ භේදය නොකරණ ලද්දේ වේද, ප්‍රඥා ඇත්තේ වේද. මෝඩවූ කෙළතොලු කෙනෙක් නොවූයේද.
මහණෙනි, කරුණු සයකින් යුක්තවූ තැනැත්තේ, බණ අසන්නේ නමුදු කුශල ධර්මයන්හි තැන්පත්වූ නියම කළ දෙයට බැසගන්නට හැක්කේ වෙයි.