6. 2. 3. 3.
3. උත්තරිමනුස්සධම්ම සූත්‍රය
[සැවැත් නුවර නිදාන කොට ඇත්තේ ය]
23. “මහණෙනි, කරුණු සයක් හැර නොදමා, මිනිස්බව ඉක්මවූ, ආර්යභාවය ගෙනදීමට සමර්ත්‍ථ නුවණ කොටස අත්කරන්නට නොහැකිය.
“කවර සයක්ද යත්? සිහි මුළාව, විමසීමේ නුවණ නැති බව, ඉඳුරන්හි දොර නොවැසීම, කෑමෙහි පමණ නොදන්නා බව, වඤ්චාව, චාටු කථාවය.
මහණෙනි, කරුණු සයක් හැර නොදමා, මිනිස්බව ඉක්මවූ, ආර්යභාවය ගෙනදීමට සමර්ත්‍ථ නුවණ කොටස අත්කරන්නට නොහැකිය.
“මහණෙනි, කරුණු සයක් හැර දමා, මිනිස්බව ඉක්මවූ, ආර්යභාවය ගෙනදීමට සමර්ත්‍ථ නුවණ කොටස අත්කරන්නට හැකි වෙයි.
“කවර සයක්ද යත්? සිහි මුළාව, විමසීමේ නුවණ නැති බව, ඉඳුරන්හි දොර නොවැසීම, කෑමෙහි පමණ නොදන්නා බව, වඤ්චාව, චාටු කථාවය.
මහණෙනි, කරුණු සයක් හැර දමා, මිනිස්බව ඉක්මවූ, ආර්යභාවය ගෙනදීමට සමර්ත්‍ථ නුවණ කොටස අත්කරන්නට හැකි වෙයි.
6. 2. 3. 4.
4. සුඛසොමනස්සබහුල සූත්‍රය
[සැවැත් නුවර නිදාන කොට ඇත්තේ ය]
24 “මහණෙනි, කරුණු සයකින් යුත් භික්‍ෂුව මේ ආත්මයෙහිම සොම්නස් බහුලව වසයි. ආශ්‍රවයන් ගෙවා දැමීම පිණිස නුවණද පටන්ගන්නා ලද්දේය.
“කවර සයෙකින්ද යත්? මහණෙනි, මේ සස්නෙහි භික්‍ෂුතෙම ධර්‍මයෙහි ඇළුණේ වේද, භාවනාවෙහි ඇළුණේ වේද, පව් ගෙවා දැමීමෙහි ඇළුණේ වේද, තද විවේකයෙහි ඇළුණේ වේද, කෝප නොකිරීමෙහි ඇළුණේ වේද, නොපමාවේ ඇළුණේ වේද, කියාය.
මහණෙනි, කරුණු සයකින් යුත් භික්‍ෂුව මේ ආත්මයෙහිම සොම්නස් බහුලව වසයි. ආශ්‍රවයන් ගෙවා දැමීම පිණිස නුවණද පටන්ගන්නා ලද්දේය.
6. 2. 3. 5.
5. අනධිගතාධිගමන සූත්‍රය
[සැවැත් නුවර නිදාන කොට ඇත්තේ ය]
25. “මහණෙනි, කරුණු සයෙකින් යුත් භික්‍ෂුව නොදත් කුශල ධර්‍මය දැන ගැනීමට හෝ, දත් කුශල ධර්‍මය දියුණු කිරිමට හෝ අසමර්ථය.
“කවර සයකින්ද යත්? මහණෙනි, මෙහි භික්‍ෂුව අයෙහි දක්‍ෂයෙක් නොවේද. වැයෙහි දක්‍ෂයෙක් නොවේද. උපායෙහි දක්‍ෂයෙක් නොවේද. නොපැමිණි කුශල ධර්‍මයන්ට පැමිණීමට කැමැත්ත නූපදවාද, පැමිණි කුශල ධර්‍මයන් හොඳට නොරකීද, නිතර පැවැත්විමට නොසලසාද (කියායි.)
“මහණෙනි, කරුණු සයෙකින් යුත් භික්‍ෂුව නොපැමිණි කුශල ධර්‍මයන්ට පැමිණීමට, පැමිණි කුශල ධර්‍මයන් දියුණු කිරිමට අසමර්ථය.
“මහණෙනි, කරුණු සයෙකින් යුත් භික්‍ෂුව නොදත් කුශල ධර්‍මය දැන ගැනීමට හෝ, දත් කුශල ධර්‍මය දියුණු කිරිමට හෝ සමර්ථ වෙයි. කවර සයකින් ද යත්:
“කවර සයකින්ද යත්? මහණෙනි, මෙහි භික්‍ෂුව අයෙහි දක්‍ෂයෙක් වේද. වැයෙහි දක්‍ෂයෙක් වේද. උපායෙහි දක්‍ෂයෙක් වේද. නොපැමිණි කුශල ධර්‍මයන්ට පැමිණීමට කැමැත්ත උපදවාද, පැමිණි කුශල ධර්‍මයන් හොඳට රකීද, නිතර පැවැත්විමට සලසාද (යන මොහුයි.)
මහණෙනි, කරුණු සයෙකින් යුත් භික්‍ෂුව නොපැමිණි කුශල ධර්‍මයන්ට පැමිණීමට, පැමිණි කුශල ධර්‍මයන් දියුණු කිරිමට සමර්ථය.
6. 2. 3. 6.
6. මහත්තපාපුණන සූත්‍රය
[සැවැත් නුවර නිදාන කොට ඇත්තේ ය]
26. “මහණෙනි, කරුණු සයකින් යුත් භික්‍ෂුතෙම නොබෝ කලෙකින්ම ධර්මයන්හි මහත් දියුණුවට පැමිණේ.
“කවර සයකින්ද යත්? මහණෙනි, මෙහි භික්‍ෂුතෙම ආලෝකය බහුලකොට ඇත්තේ වේද, භාවනා යෙදීම බහුලකොට ඇත්තේ වේද, නුවණ බහුලකොට ඇත්තේ වේද, සන්තෝෂය බහුලකොට ඇත්තේ වේද, කුශල ධර්‍මයන්හි බහා නොතබන ලද කටයුතු ඇත්තේ වේද, මතු මත්තෙහිද ගමන් කෙරේද (යන මොහුය)
මහණෙනි, කරුණු සයකින් යුත් භික්‍ෂුතෙම නොබෝ කලෙකින්ම ධර්මයන්හි මහත් දියුණුවට පැමිණේ.
6. 2. 3. 7.
7. පානාතිපාතාදී ඡධම්ම සූත්‍රය
[සැවැත් නුවර නිදාන කොට ඇත්තේ ය]
27. “මහණෙනි, කරුණු සයෙකින් යුත් තැනැත්තේ ගෙන එන ලද්දක් බහා තබන්නා සේ මෙසේ නික්මුණේ, නිරයෙහි වේ.
“කවර සයකින්ද යත්? සතුන් නසන්නේ වේද, නුදුන් දෙය ගන්නේ වේද, කාමයන්හි වැරදි හැසිරීම් ඇත්තේ වේද, බොරු කියන්නේ වේද, ලාමකවූ කැමැත්ත ඇත්තේද, වැරැදි දැකීම ඇත්තේද, (යන මොහුයි.)