6. 2. 3. 10.
10. රත්තිත්‍දිව හානිවුද්‍ධි සූත්‍රය
[සැවැත් නුවර නිදාන කොට ඇත්තේ ය]
30. “මහණෙනි, කරුණු සයකින් යුත් භික්‍ෂුහට යම් රැයක් හෝ දහවලක් හෝ පැමිණේද. කුශල ධර්මයන්හි හානිය පිණිසම බලාපොරොත්තු විය යුතුයි. වැඩීම පිණිස නොවේ.
“කවර සයකින්ද යත්? මහණෙනි, මෙහි භික්‍ෂුතෙම වනාහි හිරිහැර ඇත්තේ, නොසතුටු වූයේ, අන්‍යවූත්, අන්‍යවූත් සිවුරු - ආහාර - සෙනසුන් - ගිලන්පස - බෙහෙත් පිරිකරවලින් විෂම කැමැත්ත ඇත්තේ වේද, සැදැහැ නැත්තේ වේද, දුශ්ශීල වූයේ වේද, කුශීතවූයේද. සිහි මුළා ඇත්තේද . අනුවණද (යනුය.)
මහණෙනි, කරුණු සයෙකින් යුත් භික්‍ෂුහට යම් රැයක් හෝ දහවලක් හෝ පැමිණේද. කුශල ධර්මයන්හි හානිය පිණිසම බලාපොරොත්තු විය යුතුයි. වැඩීම පිණිස නොවේ.
“මහණෙනි, කරුණු සයකින් යුත් භික්‍ෂුහට යම් රැයක් හෝ දහවලක් හෝ පැමිණේද. කුශල ධර්මයන්හි වැඩීම පිණිසම කැමැති විය යුතුය. හානිය පිණිසම නොවේ.
“කවර සයකින්ද යත්? මහණෙනි, මෙහි භික්‍ෂුතෙම හිරිහැර නැත්තේ, සතුටු වූයේ, අන්‍යවූත්, අන්‍යවූත් සිවුරු - ආහාර - සෙනසුන් - ගිලන්පස - බෙහෙත් පිරිකරවලින් විෂම කැමැත්ත ඇත්තේ නොවේද, සැදැහැවත් වේද, සිත්වත්ද, පටන්ගත් වීර්ය ඇත්තේද, සිහිමත්ද, නැණවත්ද (යනුය.)
මහණෙනි, කරුණු සයකින් යුත් භික්‍ෂුහට යම් රැයක් හෝ දහවලක් හෝ පැමිණේද. කුශල ධර්මයන්හි වැඩීම පිණිසම කැමැති විය යුතුය. හානිය පිණිසම නොවේ.
තුන්වැනි අරහත්ත වර්ගය යි.
එහි උද්දානය:
දුක්ඛ, අරහත්ත, උත්තරිමනුස්සධම්ම, සුඛ, අධිගම, මහන්තත්ත, නිරය සූත්‍ර දෙක, අග්ගධම්ම සහ රත්තිදිවස සූත්‍රය ද වේ.
4. සීති වර්‍ගය
6. 2. 4. 1.
1. අනුත්තර සීතිභාව සූත්‍රය
[සැවැත් නුවර නිදානයි]
31. “මහණෙනි, කරුණු සයකින් යුක්තවූ භික්‍ෂුව නිරුත්තරවූ (එයට වඩා උසස් යමක් නැති) සංසිඳීම් ප්‍රත්‍යක්‍ෂ කරන්නට නුසුදුසුය. කවර සයකින්ද:
මහණෙනි, මේ සස්නෙහි භික්‍ෂුව යම් කලෙක සිතට නිග්‍රහ කටයුතු නම් ඒ කාලයෙහි සිතට නිග්‍රහ නොකෙරේද, යම් කලෙක සිත උත්සාහවත් කටයුතු නම්, ඒ කාලයෙහි සිත උත්සාහවත් නොකෙරේද, යම් කලෙක සිත උසස් කටයුතු නම්, ඒ කාලයෙහි සිත උසස් නොකෙරේද, යම් කලෙක සිත මධ්‍යස්ථ කටයුතු නම්, ඒ කාලයෙහි සිත මධ්‍යස්ථ නොකෙරේද, පහත් තත්ත්‍වයෙහි ඇලීම වේද, ආත්ම දෘෂ්ටියෙහි ඇලුනේ වේද.
මහණෙනි, කරුණු සයකින් යුක්තවූ භික්‍ෂුව නිරුත්තරවූ (එයට වඩා උසස් යමක් නැති) සංසිඳීම් ප්‍රත්‍යක්‍ෂ කරන්නට නුසුදුසුය.
“මහණෙනි, කරුණු සයකින් යුක්තවූ භික්‍ෂුව නිරුත්තරවූ සංසිඳීම ප්‍රත්‍යක්‍ෂ කරන්නට සුදුසුය. කවර සයකින්ද:
මහණෙනි, මේ සස්නෙහි භික්‍ෂුව යම් කලෙක සිතට නිග්‍රහ කටයුතු නම් ඒ කාලයෙහි සිතට නිග්‍රහ කෙරේද, යම් කලෙක සිත උත්සාහවත් කටයුතු නම්, ඒ කාලයෙහි සිත උත්සාහවත් කෙරේද, යම් කලෙක සිත උසස් කටයුතු නම්, ඒ කාලයෙහි සිත උසස් කෙරේද, යම් කලෙක සිත මධ්‍යස්ථ කටයුතු නම්, ඒ කාලයෙහි සිත මධ්‍යස්ථ කෙරේද, ප්‍රණීත දෙයෙහි ඇළුනේ වේද, නිර්‍වාණයෙහි ඇළුනේද.
මහණෙනි, කරුණු සයකින් යුක්තවූ භික්‍ෂුව නිරුත්තරවූ සංසිඳීම ප්‍රත්‍යක්‍ෂ කරන්නට සුදුසුය.
6. 2. 4. 2.
2. නියාමොක්කමන සූත්‍රය
[සැවැත් නුවර නිදානයි]
32 “මහණෙනි, කරුණු සයකින් යුක්තවූ තැනැත්තේ, බණ අසන්නේද, කුශල ධර්මයන්හි තැන්පත්වූ නියම කළ දෙයට බැසගන්නට නොහැක්කේ වෙයි. කවර සයකින්ද:
කර්‍මාවරණ බැවින් යුක්තවූයේ වේද, ක්ලේශාවරණ බැවින් යුක්තවූයේ වේද, අකුශල විපාකයකින් වැසුනේ වේද, සද්ධාව නැත්තේ වේද, බලවත් කැමැත්ත නැත්තේ වේද, ප්‍රඥාවත් නොවේද.