6. 1. 5. 9.
9. අස්සුත සවන සූත්‍රය
සැවැත් නිදානයයි.
51. ඉක්බිත්තෙන් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සමග සතුටුවිය. සතුටුවියයුතු, සිහිකටයුතු කථාව නිමවා එකත් පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙය ප්‍රකාශ කළහ:
“ඇවැත් ශාරීපුත්‍රයිනි, කොපමණකින් භික්‍ෂුව නොඇසුවාවූ ධර්මය අසයිද? ඇසුවාවූද ධර්මය ඔහුට අමතක වීමට නොයේද? ඔහුගේ යම් ධර්මයෝ පෙර සිතින් ස්පර්ශ කරන ලද්දාහුද, ඒවා ඔහුට ප්‍රගුණ වේද? නොදන්නා ලද්ද දැනගනියිද?”
“ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ බහුශ්‍රුතය, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේටම මෙය වැටහේවා.”
“එහෙයින් ඇවැත් ශාරීපුත්‍රයෙනි, මනාකොට අසන්න, මෙනෙහි කරන්න, මම ප්‍රකාශ කරන්නෙමි.” “එසේය ඇවැත්නි” යි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට පිළිතුරු දුන්හ. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ මෙය ප්‍රකාශ කළහ:
“ඇවැත්නි, මේ ශාසනයෙහි භික්‍ෂුව සූත්‍ර, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අද්භූත ධර්ම, වෙදල්ල යන නවංග ශාස්තෘ ශාසනය ප්‍රගුණ කරයි. ඇසූ පරිදි ප්‍රගුණ කළ පරිදි ධර්මය විස්තර වශයෙන් අනුන්ට දේශනා කරයි. ඇසූ පරිදි ප්‍රගුණ කළ පරිදි ධර්මය විස්තර වශයෙන් අනුන්ට කියවයි. ඇසූ පරිදි ප්‍රගුණ කළ පරිදි ධර්මය විස්තර වශයෙන් සජ්ඣායනා කරයි. ඇසූ පරිදි ප්‍රගුණ කළ පරිදි ධර්මය සිතින් විචාරයි, නැවත නැවත කල්පනා කරයි, මෙනෙහි කරයි. යම් ආවාසයක බහුශ්‍රුත වූ, ධර්මධර වූ, විනයධර වූ, මාතෘකා දන්නා වූ ස්ථවිර භික්‍ෂූහු වෙසෙත්ද, ඒ ආවාසයෙහි වස් එළඹෙයි. ඔහු කලින් කලට උන්වහන්සේලා වෙත පැමිණ ‘ස්වාමීනි, මෙය කෙසේද? මෙහි අර්ථය කුමක්ද?’ කියා විචාරයි, ප්‍රශ්න කරයි. එවිට ඒ ආයුෂ්මත්වරු ඔහුට විවෘත නොවූ කරුණු විවෘත කර දෙති, ගැඹුරු තැන් පැහැදිලි කර දෙති. නොයෙක් ආකාර වූ සැක කටයුතු ධර්මයන්හි සැක දුරු කර දෙති.
ඇවැත් ශාරීපුත්‍රයිනි, මෙතෙකින් වනාහි භික්‍ෂුව නොඇසූ ධර්මය අසයි, ඇසූ ධර්මය අමතක නොකරයි, පෙර සිතින් ස්පර්ශ කළ ධර්මයෝ ඔහුට ප්‍රගුණ වෙති, නොදන්නා දෙය දැනගනියි.”
“ඇවැත්නි ආනන්දය, පුදුමයකි, ඇවැත්නි ආනන්දය, අද්භූතයකි. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ විසින් මෙය කොතරම් මනාකොට දේශනා කරන ලද්දක්ද! අපි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ මේ කරුණු හයකින් යුක්ත බව පිළිගනිමු. (1) ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම සූත්‍ර, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අද්භූත ධර්ම, වෙදල්ල යන ධර්ම ප්‍රගුණ කරයි. (2) ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම ඇසූ පරිදි ප්‍රගුණ කළ පරිදි ධර්මය විස්තර වශයෙන් අනුන්ට දේශනා කරයි. (3) ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම ඇසූ පරිදි ප්‍රගුණ කළ පරිදි ධර්මය විස්තර වශයෙන් අනුන්ට කියවයි. (4) ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම ඇසූ පරිදි ප්‍රගුණ කළ පරිදි ධර්මය විස්තර වශයෙන් සජ්ඣායනා කරයි. (5) ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම ඇසූ පරිදි ප්‍රගුණ කළ පරිදි ධර්මය සිතින් විචාරයි, මෙනෙහි කරයි. (6) ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම බහුශ්‍රුත වූ ස්ථවිරයන් වෙසෙන ආවාසයක වස් වෙසෙයි. එහිදී කලින් කලට උන්වහන්සේලා වෙත පැමිණ ‘ස්වාමීනි, මෙය කෙසේද, මෙහි අර්ථය කුමක්ද’ යි ප්‍රශ්න විචාරයි. ඒ ආයුෂ්මත්වරු ආනන්ද ස්ථවිරයන්ට නොපැහැදිලි කරුණු පැහැදිලි කර දෙති, ගැඹුරු කරුණු ලිහිල් කර දෙති, සැක කටයුතු ධර්මයන්හි සැක දුරු කර දෙති.”
6. 1. 5. 10.
10. ඛත්තියාධිප්පාය සූත්‍රය
සැවැත් නිදානයයි.
52. ඉක්බිති ජානුස්සෝනී බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු, සිහි කටයුතු කථාව නිමවා එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ ජානුස්සෝනී බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේය:
“(1) භවත් ගෞතමයන් වහන්ස, ක්ෂත්‍රියයෝ කුමක් බලාපොරොත්තු වන්නෝද? ඔවුන්ගේ විචාරය කුමක්ද? ඔවුන්ගේ අධිෂ්ඨානය කුමක්ද? ඔවුන්ගේ ඇල්ම කුමක්ද? ඔවුන්ගේ අවසානය කුමක්ද?”
“බ්‍රාහ්මණය, ක්ෂත්‍රියයෝ වනාහි භොගයන් (සම්පත්) බලාපොරොත්තු වන්නෝය, ප්‍රඥාව ඔවුන්ගේ විචාරයයි, බලය ඔවුන්ගේ අධිෂ්ඨානයයි, පෘථිවිය ඔවුන්ගේ ඇල්මයි, ආධිපත්‍යය ඔවුන්ගේ අවසානයයි.”
“(2) භවත් ගෞතමයන් වහන්ස, බ්‍රාහ්මණයෝ කුමක් බලාපොරොත්තු වන්නෝද? ඔවුන්ගේ විචාරය කුමක්ද? ඔවුන්ගේ අධිෂ්ඨානය කුමක්ද? ඔවුන්ගේ ඇල්ම කුමක්ද? ඔවුන්ගේ අවසානය කුමක්ද?”
“බ්‍රාහ්මණය, බ්‍රාහ්මණයෝ භොගයන් බලාපොරොත්තු වන්නෝය, ප්‍රඥාව ඔවුන්ගේ විචාරයයි, මන්ත්‍ර ඔවුන්ගේ අධිෂ්ඨානයයි, යාගය ඔවුන්ගේ ඇල්මයි, බ්‍රහ්ම ලෝකය ඔවුන්ගේ අවසානයයි.”
“(3) භවත් ගෞතමයන් වහන්ස, ගෘහපතියෝ කුමක් බලාපොරොත්තු වන්නෝද? ඔවුන්ගේ විචාරය කුමක්ද? ඔවුන්ගේ අධිෂ්ඨානය කුමක්ද? ඔවුන්ගේ ඇල්ම කුමක්ද? ඔවුන්ගේ අවසානය කුමක්ද?”