6. 1. 5. 10.
10. ඛත්තියාධිප්පාය සූත්රය
සැවැත් නිදානයයි.
52. ඉක්බිති ජානුස්සෝනී බ්රාහ්මණ තෙම භාග්යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු, සිහි කටයුතු කථාව නිමවා එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ ජානුස්සෝනී බ්රාහ්මණ තෙම භාග්යවතුන් වහන්සේට මෙය සැළ කළේය:
“(1) භවත් ගෞතමයන් වහන්ස, ක්ෂත්රියයෝ කුමක් බලාපොරොත්තු වන්නෝද? ඔවුන්ගේ විචාරය කුමක්ද? ඔවුන්ගේ අධිෂ්ඨානය කුමක්ද? ඔවුන්ගේ ඇල්ම කුමක්ද? ඔවුන්ගේ අවසානය කුමක්ද?”
“බ්රාහ්මණය, ක්ෂත්රියයෝ වනාහි භොගයන් (සම්පත්) බලාපොරොත්තු වන්නෝය, ප්රඥාව ඔවුන්ගේ විචාරයයි, බලය ඔවුන්ගේ අධිෂ්ඨානයයි, පෘථිවිය ඔවුන්ගේ ඇල්මයි, ආධිපත්යය ඔවුන්ගේ අවසානයයි.”
“(2) භවත් ගෞතමයන් වහන්ස, බ්රාහ්මණයෝ කුමක් බලාපොරොත්තු වන්නෝද? ඔවුන්ගේ විචාරය කුමක්ද? ඔවුන්ගේ අධිෂ්ඨානය කුමක්ද? ඔවුන්ගේ ඇල්ම කුමක්ද? ඔවුන්ගේ අවසානය කුමක්ද?”
“බ්රාහ්මණය, බ්රාහ්මණයෝ භොගයන් බලාපොරොත්තු වන්නෝය, ප්රඥාව ඔවුන්ගේ විචාරයයි, මන්ත්ර ඔවුන්ගේ අධිෂ්ඨානයයි, යාගය ඔවුන්ගේ ඇල්මයි, බ්රහ්ම ලෝකය ඔවුන්ගේ අවසානයයි.”
“(3) භවත් ගෞතමයන් වහන්ස, ගෘහපතියෝ කුමක් බලාපොරොත්තු වන්නෝද? ඔවුන්ගේ විචාරය කුමක්ද? ඔවුන්ගේ අධිෂ්ඨානය කුමක්ද? ඔවුන්ගේ ඇල්ම කුමක්ද? ඔවුන්ගේ අවසානය කුමක්ද?”
“බ්රාහ්මණය, ගෘහපතියෝ භොගයන් බලාපොරොත්තු වන්නෝය, ප්රඥාව ඔවුන්ගේ විචාරයයි, ශිල්පය ඔවුන්ගේ අධිෂ්ඨානයයි, කර්මාන්ත ඔවුන්ගේ ඇල්මයි, නිම කරන ලද කර්මාන්ත ඔවුන්ගේ අවසානයයි.”
“(4) භවත් ගෞතමයන් වහන්ස, ස්ත්රීහු කුමක් බලාපොරොත්තු වන්නෝද? ඔවුන්ගේ විචාරය කුමක්ද? ඔවුන්ගේ අධිෂ්ඨානය කුමක්ද? ඔවුන්ගේ ඇල්ම කුමක්ද? ඔවුන්ගේ අවසානය කුමක්ද?”
“බ්රාහ්මණය, ස්ත්රීහු පුරුෂයන් බලාපොරොත්තු වන්නෝය, අලංකාරය ඔවුන්ගේ විචාරයයි, පුත්රයන් ඔවුන්ගේ අධිෂ්ඨානයයි, ප්රතිවාදී බිරිඳක් නොමැති වීම ඔවුන්ගේ ඇල්මයි, ආධිපත්යය ඔවුන්ගේ අවසානයයි.”
“(5) භවත් ගෞතමයන් වහන්ස, සොරු කුමක් බලාපොරොත්තු වන්නෝද? ඔවුන්ගේ විචාරය කුමක්ද? ඔවුන්ගේ අධිෂ්ඨානය කුමක්ද? ඔවුන්ගේ ඇල්ම කුමක්ද? ඔවුන්ගේ අවසානය කුමක්ද?”
“බ්රාහ්මණය, සොරු වනාහි පැහැර ගැනීම බලාපොරොත්තු වන්නෝය, සැඟවී සිටීම ඔවුන්ගේ විචාරයයි, වංචාව ඔවුන්ගේ අධිෂ්ඨානයයි, අන්ධකාරය ඔවුන්ගේ ඇල්මයි, නොපෙනී සිටීම (අසු නොවීම) ඔවුන්ගේ අවසානයයි.”
“(6) භවත් ගෞතමයන් වහන්ස, ශ්රමණයෝ කුමක් බලාපොරොත්තු වන්නෝද? ඔවුන්ගේ විචාරය කුමක්ද? ඔවුන්ගේ අධිෂ්ඨානය කුමක්ද? ඔවුන්ගේ ඇල්ම කුමක්ද? ඔවුන්ගේ අවසානය කුමක්ද?”
“බ්රාහ්මණය, ශ්රමණයෝ වනාහි ක්ෂාන්තිය හා සෞරත්යය බලාපොරොත්තු වන්නෝය, ප්රඥාව ඔවුන්ගේ විචාරයයි, ශීලය ඔවුන්ගේ අධිෂ්ඨානයයි, කිසිවක නොඇලීම ඔවුන්ගේ ඇල්මයි, නිර්වාණය ඔවුන්ගේ අවසානයයි.”
“භවත් ගෞතමයන් වහන්ස, පුදුමයකි, භවත් ගෞතමයන් වහන්ස, අද්භූතයකි. භවත් ගෞතමයන් වහන්සේ ක්ෂත්රියයන්ගේද බලාපොරොත්තුව, විචාරය, අධිෂ්ඨානය, ඇල්ම හා අවසානය දනිති. බ්රාහ්මණයන්ගේද ... ගෘහපතියන්ගේද ... ස්ත්රීන්ගේද ... සොරුන්ගේද ... ශ්රමණයන්ගේද බලාපොරොත්තුව, විචාරය, අධිෂ්ඨානය, ඇල්ම හා අවසානය දනිති.”
“ඉතා යහපති භවත් ගෞතමයන් වහන්ස -පෙ- අද සිට දිවි හිමියෙන් සරණ ගිය උපාසකයෙකු කොට භවත් ගෞතමයන් වහන්සේ මා දරන සේක්වා.”
6. 1. 5. 11.
11. උභයත්ථසමධිභාග සූත්රය
සැවැත් නිදානයයි.
53. ඉක්බිති එක්තරා බ්රාහ්මණයෙක් භාග්යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු, සිහි කටයුතු කථාව නිමවා එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ ඒ බ්රාහ්මණ තෙම භාග්යවතුන් වහන්සේට මෙසේ සැළ කළේය: