1. පළමුවන පණ්ණාසකය
1. ආහුණෙය්ය වර්ගය
නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස
6. 1. 1. 1.
1. උපෙක්ඛාහුණෙය්ය සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එකල්හි භාග්යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන්ට ආමන්ත්රණය කළ සේක. ඒ භික්ෂූහු. “පින්වතුන් වහන්සැ” යි භාග්යවතුන් වහන්සේට ප්රතිවචන දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
“මහණෙනි, කරුණු සයකින් යුක්තවූ මහණ තෙම දුර සිට ගෙනා දෙය පිදීමට සුදුසු වේ. ඈතට ගෙන යන දෙය පිදීමට සුදුසු වේ. දක්ෂිණ නම් දානයට සුදුසු වේ. දොහොත් මුදුන් ලබා වැඳීමට සුදුසු වේ. ලෝකයාගේ උතුම් පින් කෙත වේ. කිනම් කරුණු සයකින්ද යත් ?
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ඇසින් රූපයක් දැක සතුටු සිත් ඇත්තේත් නොවේද, නොසතුටු සිත් ඇත්තේත් නොවේද, සිහි ඇතිව, යහපත් නුවණින් යුක්තව මධ්යස්ථවූයේ වේද,
“කණින් ශබ්දයක් අසා සතුටු සිත් ඇත්තේත් නොවේද, නොසතුටු සිත් ඇත්තේත් නොවේද, සිහි ඇතිව, යහපත් නුවණින් යුක්තව මධ්යස්ථවූයේ වේද, නාසයෙන් ගඳ සුවඳක් ආඝ්රාණය කොට සතුටු සිත් ඇත්තේත් නොවේද, නොසතුටු සිත් ඇත්තේත් නොවේද, සිහි ඇතිව, යහපත් නුවණින් යුක්තව මධ්යස්ථවූයේ වේද, දිවෙන් රසයක් විඳ සතුටු සිත් ඇත්තේත් නොවේද, නොසතුටු සිත් ඇත්තේත් නොවේද, සිහි ඇතිව, යහපත් නුවණින් යුක්තව මධ්යස්ථවූයේ වේද, ශරීරයෙන් ස්පර්ශයක් දැනී සතුටු සිත් ඇත්තේත් නොවේද, නොසතුටු සිත් ඇත්තේත් නොවේද, සිහි ඇතිව, යහපත් නුවණින් යුක්තව මධ්යස්ථවූයේ වේද, සිතින් ධර්මයක් දැන සතුටු සිත් ඇත්තේත් නොවේද, නොසතුටු සිත් ඇත්තේත් නොවේද, සිහි ඇතිව, යහපත් නුවණින් යුක්තව මධ්යස්ථවූයේ වේද.
“මහණෙනි, මේ කරුණු සයකින් යුක්තවූ මහණ තෙම දුර සිට ගෙනා දෙය පිදීමට සුදුසු වේ. ඈතට ගෙන යන දෙය පිදීමට සුදුසු වේ. දක්ෂිණ නම් දානයට සුදුසු වේ. දොහොත් මුදුන් ලබා වැඳීමට සුදුසු වේ. ලෝකයාගේ උතුම් පින් කෙත වේ.
“භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇත්තාවූ ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේගේ දේශනාවට සතුටුවූහ.”
6. 1. 1. 2.
2. ඡලභිඤ්ඤාහුණෙය්ය සූත්රය
[සැවැත් නිදානය]
2. “මහණෙනි, කරුණු සයකින් යුක්තවූ මහණ තෙම දුර සිට ගෙනා දෙය පිදීමට සුදුසු වේ. ඈතට ගෙන යන දෙය පිදීමට සුදුසු වේ. දක්ෂිණ නම් දානයට සුදුසු වේ. දොහොත් මුදුන් ලබා වැඳීමට සුදුසු වේ. ලෝකයාගේ උතුම් පින් කෙත වේ. කවර සයකින්ද යත් ?
(1) මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම නොයෙක් අයුරින් ඉර්ධි විධි අනුභව කරයි: එකෙක්වද බොහෝ දෙනෙක් වේ, බොහෝ දෙනෙක්වද එකෙක් වේ, ආවරණය නොවූවෙක්ව අහසෙහි මෙන් බිත්තිය හරහාද පවුර හරහාද පර්වතය හරහාද යයි. දියෙහි මෙන් පොළොවෙහිද ගිලීම් මතුවීම් කරයි. පොළොවෙහි මෙන් දියෙහිද නොබිඳෙන දියෙහි යයි. පියාපත් ඇති ලිහිණියෙකු මෙන් අහසෙහිද පරියංකයෙන් යයි. මහත් ඉර්ධි ඇති මහත් ආනුභාව ඇති මේ සඳහිරු දෙදෙනාද අතින් අතගායි, පිරිමදියි. බ්රහ්මලෝකය දක්වාද කයින් වසඟය පවත්වයි.
(2) පිරිසිදුවූ මිනිස් බව ඉක්මවූ දිව්යවූ ශ්රෝත ධාතුවෙන් දුරවූද ළඟවූද දිව්යවූද මානුෂිකවූද උභය ශබ්දයන් අසයි.
(3) අන්ය සත්ත්වයන්ගේ අන්ය පුද්ගලයන්ගේ සිත (තම) සිතින් පිරිසිඳ දනී: සරාග සිත හෝ සරාග සිත යැයි දනී, වීතරාග සිත හෝ වීතරාග සිත යැයි දනී, සදෝස සිත හෝ ... වීතදෝස සිත හෝ ... සමෝහ සිත හෝ ... වීතමෝහ සිත හෝ ... සංඛිත්ත සිත හෝ ... වික්ඛිත්ත සිත හෝ ... මහග්ගත සිත හෝ ... අමහග්ගත සිත හෝ ... සඋත්තර සිත හෝ ... අනුත්තර සිත හෝ ... සමාහිත සිත හෝ ... අසමාහිත සිත හෝ ... විමුක්ත සිත විමුක්ත සිත යැයි දනී, අවිමුක්ත සිත අවිමුක්ත සිත යැයි දනී.
(4) අනෙකවිධ පෙර විසීම් සිහි කරයි. එනම්: එක් ජාතියක්ද ජාති දෙකක්ද ජාති තුනක්ද ජාති හතරක්ද ජාති පහක්ද ජාති දහයක්ද ජාති විස්සක්ද ජාති තිහක්ද ජාති හතළිහක්ද ජාති පණහක්ද ජාති සියයක්ද ජාති දහසක්ද ජාති ලක්ෂයක්ද, නොයෙක් සංවර්ත කල්පද නොයෙක් විවර්ත කල්පද නොයෙක් සංවර්ත විවර්ත කල්පද: 'අසුවල් තැන වීමි, එහි මෙනම් ඇත්තෙම්, මෙනම් ගොත් ඇත්තෙම්, මෙබඳු වර්ණ ඇත්තෙම්, මෙබඳු ආහාර ඇත්තෙම්, මෙබඳු සුවදුක් විඳින්නෙම්, මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එතැනින් චුතව අසුවල් තැන උපන්නෙමි. එහිද මෙනම් ඇත්තෙම්... ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එතැනින් චුතව මෙහි උපන්නෙමි'යි මෙසේ ආකාර සහිතව උද්දේස සහිතව අනෙකවිධ පෙර විසීම් සිහි කරයි.