6. 1. 5. 8.
8. සංවර විපන්න සූත්රය
සැවැත් නිදානයයි.
50. “මහණෙනි, ඉන්ද්රිය සංවරය නැති කල්හි විපතට පත් ඉන්ද්රිය සංවරය ඇත්තහුට ශීලයට උපනිශ්රය (හේතු) නැත්තේ වේ. ශීලය නැති කල්හි, ශීල විපන්නයාට සම්යක් සමාධියට උපනිශ්රය නැත්තේ වේ. සම්යක් සමාධිය නැති කල්හි, සම්යක් සමාධි විපන්නයාට යථාභූත ඥාන දර්ශනයට උපනිශ්රය නැත්තේ වේ. යථාභූත ඥාන දර්ශනය නැති කල්හි, යථාභූත ඥාන දර්ශන විපන්නයාට නිබ්බිදා විරාගයට (කලකිරීම හා නොඇලීමට) උපනිශ්රය නැත්තේ වේ. නිබ්බිදා විරාගය නැති කල්හි, නිබ්බිදා විරාග විපන්නයාට විමුක්ති ඥාන දර්ශනයට උපනිශ්රය නැත්තේ වේ.
“මහණෙනි, යම්සේ අතු කොළ විපතට පත් ගසක, එහි පතුරද සම්පූර්ණ බවට නොපැමිණේ ද, එහි සිවියද සම්පූර්ණ බවට නොපැමිණේ ද, එහි ඵලයද සම්පූර්ණ බවට නොපැමිණේ ද, එහි අරටුවද සම්පූර්ණ බවට නොපැමිණේ ද, එමෙන්ම මහණෙනි, ඉන්ද්රිය සංවරය නැති කල්හි ඉන්ද්රිය සංවර විපන්නයාට ශීලය නැත්තේ වෙයි -පෙ- විමුක්ති ඥාන දර්ශනයට උපනිශ්රය නැත්තේ වෙයි.
මහණෙනි, ඉන්ද්රිය සංවරය ඇති කල්හි ඉන්ද්රිය සංවර සම්පන්නයාට ශීලය උපනිශ්රය සම්පන්න වෙයි. ශීලය ඇති කල්හි, ශීල සම්පන්නයාට සම්යක් සමාධිය උපනිශ්රය සම්පන්න වෙයි. සම්යක් සමාධිය ඇති කල්හි, සම්යක් සමාධි සම්පන්නයාට යථාභූත ඥාන දර්ශනය උපනිශ්රය සම්පන්න වෙයි. යථාභූත ඥාන දර්ශනය ඇති කල්හි, යථාභූත ඥාන දර්ශන සම්පන්නයාට නිබ්බිදා විරාගය උපනිශ්රය සම්පන්න වෙයි. නිබ්බිදා විරාගය ඇති කල්හි, නිබ්බිදා විරාග සම්පන්නයාට විමුක්ති ඥාන දර්ශනය උපනිශ්රය සම්පන්න වෙයි.
මහණෙනි, යම්සේ අතු හා කොළ සම්පන්න ගසක, එහි පතුරද සම්පූර්ණ බවට පැමිණේ ද, එහි සිවියද සම්පූර්ණ බවට පැමිණේ ද, එහි ඵලයද සම්පූර්ණ බවට පැමිණේ ද, එහි අරටුවද සම්පූර්ණ බවට පැමිණේ ද, එමෙන්ම මහණෙනි, ඉන්ද්රිය සංවරය ඇති කල්හි ඉන්ද්රිය සංවර සම්පන්නයාට ශීලය උපනිශ්රය සම්පන්න වෙයි -පෙ- විමුක්ති ඥාන දර්ශනය උපනිශ්රය සම්පන්න වෙයි.”
6. 1. 5. 9.
9. අස්සුත සවන සූත්රය
සැවැත් නිදානයයි.
51. ඉක්බිත්තෙන් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේ සමග සතුටුවිය. සතුටුවියයුතු, සිහිකටයුතු කථාව නිමවා එකත් පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේට මෙය ප්රකාශ කළහ:
“ඇවැත් ශාරීපුත්රයිනි, කොපමණකින් භික්ෂුව නොඇසුවාවූ ධර්මය අසයිද? ඇසුවාවූද ධර්මය ඔහුට අමතක වීමට නොයේද? ඔහුගේ යම් ධර්මයෝ පෙර සිතින් ස්පර්ශ කරන ලද්දාහුද, ඒවා ඔහුට ප්රගුණ වේද? නොදන්නා ලද්ද දැනගනියිද?”
“ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ බහුශ්රුතය, ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේටම මෙය වැටහේවා.”
“එහෙයින් ඇවැත් ශාරීපුත්රයෙනි, මනාකොට අසන්න, මෙනෙහි කරන්න, මම ප්රකාශ කරන්නෙමි.” “එසේය ඇවැත්නි” යි ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට පිළිතුරු දුන්හ. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ මෙය ප්රකාශ කළහ:
“ඇවැත්නි, මේ ශාසනයෙහි භික්ෂුව සූත්ර, ගෙය්ය, වෙය්යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අද්භූත ධර්ම, වෙදල්ල යන නවංග ශාස්තෘ ශාසනය ප්රගුණ කරයි. ඇසූ පරිදි ප්රගුණ කළ පරිදි ධර්මය විස්තර වශයෙන් අනුන්ට දේශනා කරයි. ඇසූ පරිදි ප්රගුණ කළ පරිදි ධර්මය විස්තර වශයෙන් අනුන්ට කියවයි. ඇසූ පරිදි ප්රගුණ කළ පරිදි ධර්මය විස්තර වශයෙන් සජ්ඣායනා කරයි. ඇසූ පරිදි ප්රගුණ කළ පරිදි ධර්මය සිතින් විචාරයි, නැවත නැවත කල්පනා කරයි, මෙනෙහි කරයි. යම් ආවාසයක බහුශ්රුත වූ, ධර්මධර වූ, විනයධර වූ, මාතෘකා දන්නා වූ ස්ථවිර භික්ෂූහු වෙසෙත්ද, ඒ ආවාසයෙහි වස් එළඹෙයි. ඔහු කලින් කලට උන්වහන්සේලා වෙත පැමිණ ‘ස්වාමීනි, මෙය කෙසේද? මෙහි අර්ථය කුමක්ද?’ කියා විචාරයි, ප්රශ්න කරයි. එවිට ඒ ආයුෂ්මත්වරු ඔහුට විවෘත නොවූ කරුණු විවෘත කර දෙති, ගැඹුරු තැන් පැහැදිලි කර දෙති. නොයෙක් ආකාර වූ සැක කටයුතු ධර්මයන්හි සැක දුරු කර දෙති.
ඇවැත් ශාරීපුත්රයිනි, මෙතෙකින් වනාහි භික්ෂුව නොඇසූ ධර්මය අසයි, ඇසූ ධර්මය අමතක නොකරයි, පෙර සිතින් ස්පර්ශ කළ ධර්මයෝ ඔහුට ප්රගුණ වෙති, නොදන්නා දෙය දැනගනියි.”