6. 1. 5. 7.
7. ඛෙම - සුමන සූත්රය
49. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් ඛෙම ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් සුමන ස්ථවිරයන් වහන්සේද සැවැත්නුවර අන්ධවනයෙහි වාසය කරති. ඉක්බිති ආයුෂ්මත් ඛෙම ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් සුමන ස්ථවිරයන් වහන්සේද භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියහ. පැමිණ භාග්යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්නාහ. එකත්පසෙක හුන්නාවූ ආයුෂ්මත් ඛෙම ස්ථවිරයන් වහන්සේ භාග්යවතුන් වහන්සේට මෙසේ සැළ කළේය:
“ස්වාමීනි, යම් ඒ භික්ෂුවක් කෙළෙසුන් නැතිකළේ, සම්පූර්ණ කළ කටයුතු ඇත්තේ, බහා තබන ලද කෙළෙස් බර ඇත්තේ, තමාගේ පරමාර්ථය අනුපිළිවෙලින් පැමිණි යහපත ඇත්තේ, හීන කළ භව බැඳුම් ඇත්තේ, මිදීම මනාකොට දත්තේ (අර්හත්) වේද, උන්වහන්සේට ‘මට වඩා ශ්රේෂ්ඨයෙක් ඇත්තේය’ කියා හෝ ‘මට සමානයෙක් ඇත්තේය’ කියා හෝ ‘මට වඩා හීනයෙක් ඇත්තේය’ කියා හෝ අදහසක් නොවෙයි.”
ආයුෂ්මත් ඛෙම ස්ථවිරයන් වහන්සේ මෙය ප්රකාශ කළහ. ශාස්තෲන් වහන්සේ එය අනුමත කළහ. ඉක්බිති ආයුෂ්මත් ඛෙම ස්ථවිරයන් වහන්සේ ශාස්තෲන් වහන්සේ මාගේ අදහසට එකඟ වූ සේකැයි අස්නෙන් නැගිට, භාග්යවතුන් වහන්සේ වැඳ, ප්රදක්ෂිණා කොට බැහැර ගියහ.
ඉක්බිති, ආයුෂ්මත් ඛෙම ස්ථවිරයන් වහන්සේ බැහැර ගොස් ටික වේලාවකින් ආයුෂ්මත් සුමන ස්ථවිරයන් වහන්සේ භාග්යවතුන් වහන්සේට මෙය සැළකළහ:
“ස්වාමීනි, යම් ඒ භික්ෂුවක් කෙළෙසුන් නැතිකළේ, සම්පූර්ණ කළ කටයුතු ඇත්තේ, බහා තබන ලද කෙළෙස් බර ඇත්තේ, තමාගේ පරමාර්ථය අනුපිළිවෙලින් පැමිණි යහපත ඇත්තේ, හීන කළ භව බැඳුම් ඇත්තේ, මිදීම මනාකොට දත්තේ (අර්හත්) වේද, උන්වහන්සේට මෙබඳු අදහසක් නොවෙයි: ‘මට වඩා ශ්රේෂ්ඨයෙක් නැත’ කියා හෝ ‘මට සමානයෙක් නැත’ කියා හෝ ‘මට වඩා හීනයෙක් නැත’ කියා හෝ මෙසේද නොවෙයි.”
ආයුෂ්මත් සුමන ස්ථවිරයන් වහන්සේ මෙය ප්රකාශ කළහ. ශාස්තෲන් වහන්සේ එය අනුමත කළහ. ඉක්බිති ආයුෂ්මත් සුමන ස්ථවිරයන් වහන්සේ ශාස්තෲන් වහන්සේ මාගේ අදහසට එකඟ වූ සේකැයි අස්නෙන් නැගිට, භාග්යවතුන් වහන්සේ වැඳ, ප්රදක්ෂිණා කොට බැහැර ගියහ.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් ඛෙම ස්ථවිරයන් වහන්සේද, සුමන ස්ථවිරයන් වහන්සේද බැහැර ගොස් ටික වේලාවකින් භික්ෂූන් ඇමතූ සේක: “මහණෙනි, මෙසේ වනාහි කුල පුත්රයෝ රහත් බව ප්රකාශ කරත්. අර්ත්ථය ප්රකාශ කරන ලදී, තමා ගැන උඩඟු බවක්ද ඇති නොකර ගන්නා ලදී. එසේ නමුදු ඇතැම් හිස් පුරුෂයෝ සිනහ වෙන්නාහු රහත් බව ප්රකාශ කෙරෙත්යයි සිතමි. පසුව ඔවුහු විපතට පැමිණෙත්.”
49. උසස් පුද්ගලයන් කෙරෙහි නොඑළඹෙත්. හීන පුද්ගලයන් කෙරෙහි නොඑළඹෙත්. සමාන පුද්ගලයා කෙරෙහිද නොඑළඹෙත්. ඒ ක්ෂීණාශ්රවයන් වහන්සේ අර්හත් මාර්ගයෙන් ක්ෂයවූ ජාති ඇත්තීය. වැස නිමවන ලද මාර්ග බ්රහ්මචර්ය්යා ඇත්තේ, සියලු සංයෝජනයන් කෙරෙන් විශේෂයෙන් මිදුනාහු හැසිරෙත්.
6. 1. 5. 8.
8. සංවර විපන්න සූත්රය
සැවැත් නිදානයයි.
50. “මහණෙනි, ඉන්ද්රිය සංවරය නැති කල්හි විපතට පත් ඉන්ද්රිය සංවරය ඇත්තහුට ශීලයට උපනිශ්රය (හේතු) නැත්තේ වේ. ශීලය නැති කල්හි, ශීල විපන්නයාට සම්යක් සමාධියට උපනිශ්රය නැත්තේ වේ. සම්යක් සමාධිය නැති කල්හි, සම්යක් සමාධි විපන්නයාට යථාභූත ඥාන දර්ශනයට උපනිශ්රය නැත්තේ වේ. යථාභූත ඥාන දර්ශනය නැති කල්හි, යථාභූත ඥාන දර්ශන විපන්නයාට නිබ්බිදා විරාගයට (කලකිරීම හා නොඇලීමට) උපනිශ්රය නැත්තේ වේ. නිබ්බිදා විරාගය නැති කල්හි, නිබ්බිදා විරාග විපන්නයාට විමුක්ති ඥාන දර්ශනයට උපනිශ්රය නැත්තේ වේ.
“මහණෙනි, යම්සේ අතු කොළ විපතට පත් ගසක, එහි පතුරද සම්පූර්ණ බවට නොපැමිණේ ද, එහි සිවියද සම්පූර්ණ බවට නොපැමිණේ ද, එහි ඵලයද සම්පූර්ණ බවට නොපැමිණේ ද, එහි අරටුවද සම්පූර්ණ බවට නොපැමිණේ ද, එමෙන්ම මහණෙනි, ඉන්ද්රිය සංවරය නැති කල්හි ඉන්ද්රිය සංවර විපන්නයාට ශීලය නැත්තේ වෙයි -පෙ- විමුක්ති ඥාන දර්ශනයට උපනිශ්රය නැත්තේ වෙයි.