6. 1. 5. 6.
6. සන්දිඨිකධම්ම සූත්රය
සාවත්ථි නිදානයයි.
48. ඉක්බිති එක්තරා බ්රාහ්මණයෙක් භාග්යවතුන් වහන්සේ යම් තැනකද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටු විය යුතු, සිහි කටයුතු, කථාව කොට නිමවා, එකත්පස්ව හුන්නේය. එකත්පසෙක සිටියාවූ ඒ බමුණුතෙම භාග්යවතුන් වහන්සේට මෙසේ සැළකළේය.
“ස්වාමීනි, ධර්මය සාන්දෘෂ්ටිකය. ධර්මය සාන්දෘෂ්ටිකය.යි (තමා විසින්ම අවබෝධ කටයුතුයයි) කියයි. ස්වාමීනි, කවර කරුණකින් ධර්මය සාන්දෘෂ්ටික වේද, කල් නොයවා දෙන ඵල ඇත්තේද, එව, බලව යි කියයුතු වේද, සමීපයට පැමිණියයුතු වේද, නුවණැත්තන් විසින් වෙන වෙන දැනගතයුතුයයි කියාද?” යනුයි.
“එසේ නම් බමුණ, මෙහිලා එයම විචාරන්නෙමි. යම්සේ ඔබ ඉවසන්නෙහි නම් එසේ මෙය ප්රකාශ කරව. බ්රාහ්මණය, කුමකැයි සිතන්නෙහිද? ඇත්තාවූ අධ්යාත්මික රාගය මාගේ අධ්යාත්මයෙහි රාගය ඇත්තේයයි දන්නෙහිද. නැත්තාවූ අධ්යාත්මික රාගය මාගේ අධ්යාත්මයෙහි රාගය නැත්තේයයි දන්නෙහිද?
“එසේය, පින්වත.”
“පින්වත් බ්රාහ්මණය, මෙසේ ඔබ යම් හෙයකින් ඇත්තාවූ අධ්යාත්මික රාගය මාගේ අධ්යාත්මයෙහි රාගය ඇත්තේයයි දන්නෙහිද? නැත්තාවූ අධ්යාත්මික රාගය මාගේ අධ්යාත්මයෙහි රාගය නැත්තේයයි දන්නෙහිද?
බමුණ මෙසේ වනාහි ධර්මය සාන්දෘෂ්ටිකවූයේ වෙයි. අකාලික, එහිඵස්සික. ඕපනයික හා නුවණැත්තන් විසින් වෙන වෙනම දැනගතයුතු වෙයි.
“බ්රාහ්මණය, කුමකැයි සිතන්නෙහිද? ඇත්තාවූ අධ්යාත්මික ද්වේෂය - මෝහය, කයෙහි නොහික්මීම, වචනයෙහි නොහික්මීම, සිතෙහි නොහික්මීම ඇත්තාහුයයි දන්නෙහිද? නැත්තාවූ අධ්යාත්මික ද්වේෂය, මෝහය, කයෙහි නොහික්මීම, වචනයෙහි නොහික්මීම, සිතෙහි නොහික්මීම නැත්තාහුයයි දන්නෙහිද?
“එසේය, පින්වත.”
බ්රාහ්මණය, යම් හෙයකින් ඔබ ඇත්තාවූ අධ්යාත්මික මනොසන්දොසය ‘මාගේ අධ්යාත්මයෙහි මනොසන්දොසය ඇත්තේය’ යි දන්නෙහිද, නැත්තාවූ අධ්යාත්මික මනොසන්දොසය ‘මාගේ අධ්යාත්මයෙහි මනොසන්දොසය නැත්තේය’ යි දන්නෙහිද.
බ්රාහ්මණය, මෙසේ වනාහි ධර්මය සාන්දෘෂ්ටිකවූයේ වෙයි. අකාලික, එහිඵස්සික. ඕපනයික හා නුවණැත්තන් විසින් වෙන වෙනම දැනගතයුතු වෙයි.
“භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති. භවත් ගෞතමයන් වහන්ස, යම් සේ යටිකුරු කරණ ලද්දක් උඩුකුරු කරන්නේද, වැසුණු දෙයක් විවෘත කරන්නේද, මංමුලා වූවෙකුට මාර්ගය කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි අඳුරෙහි තෙල් පහනක් දරන්නේද, එසේම භවත් ගෞතමයන් වහන්සේ විසින් අනේක ප්රකාරයෙන් ධර්මය ප්රකාශ කරණ ලදී. ඒ මම භවත් ගෞතමයන් වහන්සේ සරණ යමි. ධර්මයද, භික්ෂු සංඝයාද සරණ යමි. අද සිට දිවි හිම් කොට සරණ ගිය උපාසකයකු කොට භවත් ගෞතමයන් වහන්සේ මා දරාවා.”
6. 1. 5. 7.
7. ඛෙම - සුමන සූත්රය
49. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් ඛෙම ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් සුමන ස්ථවිරයන් වහන්සේද සැවැත්නුවර අන්ධවනයෙහි වාසය කරති. ඉක්බිති ආයුෂ්මත් ඛෙම ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් සුමන ස්ථවිරයන් වහන්සේද භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියහ. පැමිණ භාග්යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්නාහ. එකත්පසෙක හුන්නාවූ ආයුෂ්මත් ඛෙම ස්ථවිරයන් වහන්සේ භාග්යවතුන් වහන්සේට මෙසේ සැළ කළේය:
“ස්වාමීනි, යම් ඒ භික්ෂුවක් කෙළෙසුන් නැතිකළේ, සම්පූර්ණ කළ කටයුතු ඇත්තේ, බහා තබන ලද කෙළෙස් බර ඇත්තේ, තමාගේ පරමාර්ථය අනුපිළිවෙලින් පැමිණි යහපත ඇත්තේ, හීන කළ භව බැඳුම් ඇත්තේ, මිදීම මනාකොට දත්තේ (අර්හත්) වේද, උන්වහන්සේට ‘මට වඩා ශ්රේෂ්ඨයෙක් ඇත්තේය’ කියා හෝ ‘මට සමානයෙක් ඇත්තේය’ කියා හෝ ‘මට වඩා හීනයෙක් ඇත්තේය’ කියා හෝ අදහසක් නොවෙයි.”
ආයුෂ්මත් ඛෙම ස්ථවිරයන් වහන්සේ මෙය ප්රකාශ කළහ. ශාස්තෲන් වහන්සේ එය අනුමත කළහ. ඉක්බිති ආයුෂ්මත් ඛෙම ස්ථවිරයන් වහන්සේ ශාස්තෲන් වහන්සේ මාගේ අදහසට එකඟ වූ සේකැයි අස්නෙන් නැගිට, භාග්යවතුන් වහන්සේ වැඳ, ප්රදක්ෂිණා කොට බැහැර ගියහ.