6. 1. 5. 2.
2. මගසාල සූත්‍රය
[සැවැත් නුවර නිදානයි]
44. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු රැගෙන මිගශාලා නම් උපාසිකාවගේ නිවාසය යම් තැනෙකද එතැන්හි පැමිණියහ. පැමිණ, පැනවූ අස්නෙහි වැඩහුන්හ. ඉක්බිති මිගශාලා උපාසිකාතොමෝ ආනන්ද ස්ථවිරයන් වහන්සේ යම් තැනකද එතැන්හි පැමිණියාය. පැමිණ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියාය. එකත්පසෙක සිටියාවූ මිගශාලා උපාසිකාතොමෝ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේට මෙය සැළකළාය:
“ස්වාමීනි, ආනන්ද ස්ථවිරයන්වහන්ස, යම්සේ වනාහි බ්‍රහ්මචාරීද අබ්‍රහ්මචාරීද යන දෙදෙනා පරලොව සමසම ගති ඇතිවන්නාහු යයි භාග්‍යවතුන් වහන්සේ විසින් වෙනස්වූ ධර්මයක් කෙසේ කෙසේ නම් දේශනාකරණ ලද්දේද? කෙසේ නම් බ්‍රහ්මචාරීද අබ්‍රහ්මචාරීද යන දෙදෙනාම පරලොව සමසම ගති ඇත්තෝ වන්නාහුද?”
“ස්වාමීනි, පුරාණ නම් වූ මාගේ පියා ග්‍රාම්‍ය ධර්මයක්වූ මෛථුන සේවනයයෙන් බොහෝ ඈත්වූ බඹසර ඇත්තෙක්විය. හෙතෙම කාලක්‍රියා කළේ සකෘදාගාමී කෙනෙක්ව තුෂිත දිව්‍යලෝකයෙහි උපන්නේයයි භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරණලදී. ස්වාමීනි, මට ප්‍රියවූ පිය පරම්පරාවෙන් පැවතෙන ගරුකටයුතු ඉසිදත්තතෙමේ ස්වකීය භාර්‍ය්‍යාවගෙන් සතුටුවූ අබ්‍රහ්මචාරීකෙනෙක් විය. හෙතෙමේද කාලක්‍රියාකළේ සකෘදාගාමීව තුෂිත දෙව්ලොව උපන්නේයයි භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරණලදී.”
“ස්වාමීනි, ආනන්ද ස්ථවිරයන්වහන්ස, යම්සේ වනාහි බ්‍රහ්මචාරීද අබ්‍රහ්මචාරීද යන දෙදෙනා පරලොව සමසම ගති ඇතිවන්නාහු යයි භාග්‍යවතුන් වහන්සේ විසින් වෙනස්වූ ධර්මයක් කෙසේ කෙසේ නම් දේශනාකරණ ලද්දේද?”
“සොහොයුරිය, මෙසේම භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනාකරණ ලද්දේද?”
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ මිගශාලා උපාසිකාවගේ නිවාසයෙන් පිණ්ඩපාතය රැගෙන අස්නෙන් නැගිට වැඩියහ. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ පිණ්ඩපාතයෙන් වැලකුනේ සවස් කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැන්හි පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන්නාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ:
“ස්වාමීනි, මම පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු රැගෙන මිගශාලා උපාසිකාවගේ නිවාසය යම්තැනකද එතැන්හි පැමිණියෙමි. පැමිණ, පැනවූ අස්නෙහි හිඳගතිමි. ස්වාමීනි, ඉක්බිති මිගශාලා උපාසිකාතොමෝ මා යම්තැනකද එතැන්හි පැමිණියාය. පැමිණ මා වැඳ එකත්පසෙක සිටියාය. එකත්පසෙක සිටියාවූ මිගශාලා උපාසිකාතොමෝ මට මෙය සැළකළාය:
‘ස්වාමීනි, ආනන්ද ස්ථවිරයන්වහන්ස, යම්සේ වනාහි බ්‍රහ්මචාරීද අබ්‍රහ්මචාරීද යන දෙදෙනා පරලොව සමසම ගති ඇතිවන්නාහු යයි භාග්‍යවතුන් වහන්සේ විසින් වෙනස්වූ ධර්මයක් කෙසේ කෙසේ නම් දේශනාකරණ ලද්දේද? ස්වාමීනි, පුරාණ නම් වූ මාගේ පියා ග්‍රාම්‍ය ධර්මයක්වූ මෛථුන සේවනයයෙන් බොහෝ ඈත්වූ බඹසර ඇත්තෙක්විය. හෙතෙම කාලක්‍රියා කළේ සකෘදාගාමී කෙනෙක්ව තුෂිත දිව්‍යලෝකයෙහි උපන්නේයයි භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරණලදී. ස්වාමීනි, මට ප්‍රියවූ පිය පරම්පරාවෙන් පැවතෙන ගරුකටයුතු ඉසිදත්තතෙමේ ස්වකීය භාර්‍ය්‍යාවගෙන් සතුටුවූ අබ්‍රහ්මචාරීකෙනෙක් විය. හෙතෙමේද කාලක්‍රියාකළේ සකෘදාගාමීව තුෂිත දෙව්ලොව උපන්නේයයි භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරණලදී. යම්සේ වනාහි බ්‍රහ්මචාරීද අබ්‍රහ්මචාරීද යන දෙදෙනා පරලොව සමසම ගති ඇතිවන්නාහු යයි භාග්‍යවතුන් වහන්සේ විසින් වෙනස්වූ ධර්මයක් කෙසේ කෙසේ නම් දේශනාකරණ ලද්දේද?’
ස්වාමීනි, මෙසේ කීකල්හි මම මිගශාලා උපාසිකාවට මෙසේ කීමි. ‘සොහොයුරිය මෙසේම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ලද්දේද?’ යනුවෙනි.”
“ආනන්දය, පුරුෂ පුද්ගලයන් තෝරා කීමේ නුවණෙහි මිගශාලා උපාසිකාව මෝඩය, අව්‍යක්තය, ලාමක ප්‍රඥා ඇත්තීය. පුරුෂ පුද්ගලයන්ගේ පරලොව ගති ගැන ඥානය ඇත්තෝ කවරහුද?”
“ආනන්දය, ලෝකයෙහි මේ පුද්ගලයෝ සදෙනෙක් වෙති, කවර සදෙනෙක්ද?”
“ආනන්දය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් හික්මුනේ යහපත් වාසය ඇත්තේ සබ්‍රහ්මචාරීන් හා එකතුව වාසයෙන් සතුටු වෙයි. හෙතෙම ඇසීමෙන්ද කටයුතු දේ නොකළේ වෙයි. බහුශ්‍රැත භාවයෙන්ද නොකළේ වෙයි. දෘෂ්ටියෙන්ද නොකළේ වෙයි. තැන්පත්වූ විමුක්තිය නොලබයි. හෙතෙම කායයාගේ බිඳීමෙන් මරණින් මතු පිරිහීමට පැමිණෙයි. උසස් බව පිණිස නොපැමිණෙයි. හානගාමී වෙයි. විශේෂගාමී නොවේ. (1)”