6. 1. 5. 3.
3. දාළිද්දිය සූත්රය
සාවත්ථි නිදානයයි.
45. “මහණෙනි, ලෝකයෙහි කාම භෝගියාට දිළිඳුකම දුකකි.”
“එසේය. ස්වාමීනි.”
“මහණෙනි, යම් ඒ අසරණවූ දිළින්දෙක් වේ නම් ණය ගනියි. මහණෙනි, ලෝකයෙහි කාම භොගියාට ගත් ණය දීමද දුකකි?”
“එසේය, ස්වාමීනි.”
“අසරණවූ දිළින්දා ණය රැගෙන පොළිය දීමට පොරොන්දු වෙයි. මහණෙනි, පොළිය දීමද මේ ලෝකයෙහි අසරණවූ දිළින්දාට දුකකි?”
“එසේය, ස්වාමීනි.”
“මහණෙනි, යම් ඒ අසරණවූ දිළින්දා පොළිය අසා ඔහුට දොස් පැවරුවේ නමුදු කලක් එකතුවූ පොළිය නොදෙයි. මහණෙනි, චෝදනාවද ලෝකයෙහි කාමභෝගියාට දුකකි?”
“එසේය ස්වාමීනි.”
“මහණෙනි, යම් ඒ අසරණවූ දිළින්දා ඔහු පසුපස ගොස් දොස් කීවේ නමුදු නොදෙයි. මහණෙනි, ණය හිමියා ඔහු පසුපස යාමද ලෝකයෙහි කාමභෝගියාට දුකකි?”
“එසේය ස්වාමීනි.”
“මහණෙනි, යම් ඒ අසරණ දිළින්දා පසුපස ගොස් බැන්දේ නමුදු නොදෙයි. මහණෙනි, බන්ධනයද ලෝකයෙහි කාමභෝගියාට දුකකි?”
“එසේය ස්වාමීනි.”
මහණෙනි, මෙසේ දිළිඳුකමද ලෝකයෙහි කාමභෝගියාට දුකකි. ණය ගැනීමද ලෝකයෙහි කාමභෝගියාට දුකකි. පොළියද ලෝකයෙහි කාමභෝගියාට දුකකි, චෝදනාවද ලෝකයෙහි කාමභෝගියාට දුකකි. අනුගමනයද ලෝකයෙහි කාමභෝගියාට දුකකි. බන්ධනයද ලෝකයෙහි කාමභෝගියාට දුකකි.
“මහණෙනි, එමෙන්ම යම් කිසිවෙකුට කුශල ධර්මයන්හි ශ්රද්ධාව නැත්තේද, කුශල ධර්මයන් නොකළේයයි ලජ්ජාව නැත්තේද, කුශල ධර්මයන් නොකළේයයි භය නැත්තේද, කුශල ධර්මයන්හි වීර්ය්යය නැත්තේද, කුශල ධර්මයන්හි ප්රඥාව නැත්තේද, මහණෙනි, මෙය ආර්ය්ය විනයෙහි අසරණවූ දිළිඳුකමයයි කියණු ලැබේ. මහණෙනි, යම් ඒ දිළින්දා කුශල ධර්මයන්හි ශ්රද්ධාව නැති කල්හි, ලජ්ජා, භය, වීර්ය්ය, ප්රඥා, නැති කල්හි කයින් දුසිරිත් කරයි. වචනයෙන් දුසිරිත් කරයි. සිතින් දුසිරිත් කරයි. මේ ඔහුගේ ණය ගැනීමයයි කියමි.
“හෙතෙම ඔහුගේ කාය දුශ්චරිතය වැසීමේ හේතුවෙන් පවිටු අදහස් ඇති කරයි. මා අන්යයෝ නොදකිත්වායි සිතයි. කයින්ද උත්සාහ කෙරෙයි. හෙතෙම තමාගේ වාග් දුශ්චරිතය වැසීමේ හේතුවෙන් පවිටු අදහස් ඇති කරයි. මා අන්යයෝ නොදකිත්වායි සිතයි. වචනයෙන් කියයි. කයින් උත්සාහ කරයි. හෙතෙම තමාගේ මනෝ දුශ්චරිතය වැසීමේ හේතුවෙන් පවිටු අදහස් ඇති කරයි. මා අන්යයෝ නොදකිත්වායි සිතයි. වචනයෙන් කියයි. කයින් උත්සාහ කරයි. මෙය ඔහුගේ පොළිය වැඩිවීම යයි කියමි.
ඔහුට ප්රියශීලී සබ්රහ්මචාරීහු මෙසේ කීහ. ‘මේ ආයුෂමතුන් වහන්සේ මෙසේ කරන්නේ, මෙසේ කියන්නේ වෙයි’ කියායි. මෙය ඔහුට ‘දොස්කීම’ යයි කියමි.
ඔහු වනයකට ගොස් හෝ රුක් මුලකට ගොස් හෝ ජනසූන්යස්ථානයකට ගොස් හෝ පසුතැවුන සිතින් ලාමකවූ අකුශල විතර්කයන්, රැස්කරයි. මේ ඔහුගේ “පසුපස යෑම” යයි කියමි.
මහණෙනි, ඒ මේ දිළින්දා කයින්, වචනයෙන් හෝ සිතින් දුසිරිත් කොට කායයාගේ බිඳීමෙන් මරණින් මතු අපාය බන්ධනයෙන් හෝ බැඳෙයි. තිරිසන් යෝනි බන්ධනයෙන් හෝ බැඳෙයි.
මහණෙනි, මෙසේ දරුණුවූ, මෙසේ කටුකවූ, යම් ඒ නිරය බන්ධනයක් හෝ තිරිසන් යෝනි බන්ධනයක් හෝ ඇද්ද, ඒ සමාන නිරුත්තර නිර්වාණය ලැබීමට අනතුරු කරන්නාවූ එකද ධර්මයකුත් මම නොදක්නෙමි.
34. “මේ ලෝකයෙහි ධනයෙන් දිළිඳුකමද, ණය ගැනීමද දුක්යයි කියනු ලැබේ. දිළිඳුවූයේ, ණය ගෙන ඉල්ලනු ලබන්නේ වෙහෙසෙට පැමිණෙයි.”
35. එහෙයින් ඔහු පසුපස්සෙහි ලුහුබඳිත්. බන්ධනයටද පැමිණේ. කාම ලාභය ප්රාන්ර්ථනා කරන්නවුන්ට බන්ධනයද දුකකි.
36. එපරිද්දෙන්ම ආර්ය්ය විනයෙහි යමෙකුගේ ශ්රද්ධාව නැත්තේද. පාපයට ලජ්ජාව නැත්තේද, පාපයට භය නැත්තේද, පාප කර්මයෙහි විභාගයක් නැත්තේද,
37. කයින් වචනයෙන් හෝ සිතින් දුසිරිත් කොට මා නොදනීවායි කැමතිවේද,
38. හෙතෙම ඒ ඒ තැන්හි නැවත නැවත කයින්ද, වචනයෙන්ද, සිතින්ද පාප කර්මය වඩන්නේ කම්පාවේ.
39. “පාප කර්ම ඇති කල්හි ඒ අඥානතෙම තමන්ගේ දුශ්චරිත දන්නේ, කුශල් නොකළ බැවින් දිළිඳුවූයේ පෙර කළාවූ අකුශල් නමැති ණය ගෙන චෝදනා කරණු ලබන්නේ වෙහෙසට පැමිණේ.
40. “එහෙයින් ගමෙහි හෝ නොහොත් වනයෙහි හෝ මොහුගේ සිත් තැවුල් වශයෙන් උපන්නාවූ දුක්වූ යම් බඳු කල්පනා සිත් නමැති ණය හිමියෝ ඔහු පසු පස්සෙහි ලුහු බඳිත්.