6. 1. 5. 11.
11. උභයත්‍ථසමධිභාග සූත්‍රය
සැවැත් නිදානයයි.
53. ඉක්බිති එක්තරා බ්‍රාහ්මණයෙක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු, සිහි කටයුතු කථාව නිමවා එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූ ඒ බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළ කළේය:
“භවත් ගෞතමයන් වහන්ස, වඩන ලද, බහුල වශයෙන් පුරුදු කරන ලද යම් එකම ධර්මයක්, මෙලොව අභිවෘද්ධිය සහ පරලොව අභිවෘද්ධිය යන දෙකම ලබා දෙයිද, එබඳු ධර්මයක් ඇද්ද?”
“බ්‍රාහ්මණය, වඩන ලද, බහුල වශයෙන් පුරුදු කරන ලද, මෙලොව හා පරලොව යන උභය අර්ථයන්ම සාක්ෂාත් කර දෙන එකම ධර්මයක් ඇත්තේය.”
“භවත් ගෞතමයන් වහන්ස, මෙලොව හා පරලොව යන උභය අර්ථයන්ම සාක්ෂාත් කර දෙන, වඩන ලද බහුල කරන ලද ඒ එකම ධර්මය කුමක්ද?”
“බ්‍රාහ්මණය, අප්‍රමාදය යනු මෙලොව හා පරලොව යන උභය අර්ථයන්ම සාක්ෂාත් කර දෙන, වඩන ලද බහුල කරන ලද ඒ එකම ධර්මයයි.”
“(1) බ්‍රාහ්මණය, යම් සේ ඇවිදින සියලුම සතුන්ගේ පා සටහන් ඇත් පා සටහනෙහි ඇතුළත් වේද, විශාලත්වය නිසා ඇත් පියවර ඒ සියල්ලටම වඩා ශ්‍රේෂ්ඨ යැයි කියනු ලැබේද, එමෙන්ම බ්‍රාහ්මණය, අප්‍රමාදය නම් වූ මේ එකම ධර්මය වඩන ලද්දේ බහුල කරන ලද්දේ මෙලොව හා පරලොව යන උභය අර්ථයන්ම ලබා දෙයි.
(2) බ්‍රාහ්මණය, යම්සේ කූටාගාරයක (මහල් නිවසක) සියලුම පරාලයන් කූටය (මුදුන් ලීය) දෙසටම නැමුණේ, කූටයටම එක් වූයේ වේද, කූටය ඒ සියල්ලට වඩා ශ්‍රේෂ්ඨ වේද, එසේම බ්‍රාහ්මණය, අප්‍රමාදය -පෙ-
(3) බ්‍රාහ්මණය, යම්සේ සැවැන්න තණ කපන්නෙකු ඒවා කපා අගින් අල්වා ගසා සොලවා පවිත්‍ර කරයිද, එසේම බ්‍රාහ්මණය, අප්‍රමාදය -පෙ-
(4) බ්‍රාහ්මණය, යම්සේ අඹ පොකුරක් නටුවෙන් කැපූ කල ඒ නටුවෙහි බැඳී පවත්නා සියලුම අඹ ගෙඩි ඒ සමගම වැටෙන්නාහු වෙත්ද, එසේම බ්‍රාහ්මණය, අප්‍රමාදය -පෙ-
(5) බ්‍රාහ්මණය, යම්සේ යම්කිසි කුඩා රජවරු වෙත්ද, ඒ සියල්ලෝ සක්විති රජුට යටත් වෙත්ද, සක්විති රජු ඔවුන් අතර ශ්‍රේෂ්ඨ වේද, එසේම බ්‍රාහ්මණය, අප්‍රමාදය -පෙ-
(6) බ්‍රාහ්මණය, යම්සේ සියලු තාරකාවන්ගේ ආලෝකය සඳ එළියෙන් දහසයයෙන් පංගුවක්වත් නොවටීද, සඳ එළිය ඒ සියල්ලට වඩා ශ්‍රේෂ්ඨ වේද, එමෙන්ම බ්‍රාහ්මණය, අප්‍රමාදය නම් වූ මේ එකම ධර්මය වඩන ලද්දේ බහුල කරන ලද්දේ මෙලොව අභිවෘද්ධිය හා පරලොව අභිවෘද්ධිය යන උභය අර්ථයන්ම ලබා දෙයි.
බ්‍රාහ්මණය, වඩන ලද බහුල කරන ලද මේ එකම ධර්මය මෙලොව හා පරලොව යන උභය අර්ථයන්ම ලබා දෙන ධර්මයයි.”
“ඉතා යහපති භවත් ගෞතමයන් වහන්ස -පෙ- අද සිට දිවි හිමියෙන් සරණ ගිය උපාසකයෙකු කොට භවත් ගෞතමයන් වහන්සේ මා දරන සේක්වා.”