6. 1. 4. 9.
[කම්මනිදාන සූත්‍රය]
[සැවැත් නුවර නිදානයයි]
39. “මහණෙනි, කර්‍ම රැස්වීම පිණිස මේ හේතු තුනක් වෙත්.
කිනම් තුනක්ද යත්:
ලෝභය කර්‍ම රැස්වීම පිණිස නිදානයක් වෙයි. ද්වේෂය කර්‍ම රැස්වීම පිණිස නිදානයක් වෙයි. මෝහය කර්‍ම රැස්වීම පිණිස නිදානයක් වෙයි.
මහණෙනි, ලෝභයෙන් අලෝභය පහළ නොවේ. මහණෙනි, තවද ලෝභයෙන් ලෝභයම පහළ වෙයි. මහණෙනි, ද්වේෂයෙන් අදෝෂය පහළ නොවේ. මහණෙනි, තවද ද්වේෂයෙන් ද්වේෂයම පහළ වෙයි. මහණෙනි, මෝහයෙන් අමෝහය පහළ නොවේ. මහණෙනි, නැවතද මෝහයෙන් මෝහයම පහළ වේ.
මහණෙනි, ලෝභයෙන් උපන් කර්මයෙන්, ද්වේෂයෙන් උපන් කර්මයෙන්, මෝහයෙන් උපන් කර්මයෙන් දෙවියෝ නොපැනෙත්. මනුෂ්‍යයෝ නොපැනෙත්. අන් යම්කිසි සුගතියක් වේ නම් එයද නොපැනේ.
මහණෙනි, තවද ලෝභයෙන් උපන් කර්මයෙන්, ද්වේෂයෙන් උපන් කර්මයෙන්, මෝහයෙන් උපන් කර්මයෙන් නරකය පැනෙයි. තිරච්ඡාන යෝනිය පැනෙයි. ප්‍රේත විෂය පැනෙයි. යම් අන් කිසි දුගතියක් වේ නම් එයද පැනෙයි.
මහණෙනි, කර්ම රැස්වීමට මේ නිදාන තුනයි.”
“මහණෙනි, කර්‍ම රැස්වීම පිණිස මේ හේතු තුනක් වෙත්. කිනම් තුනක්ද යත්:
අලෝභය කර්‍ම රැස්වීම පිණිස නිදානයක් වෙයි. අදෝෂය කර්මය රැස්වීම පිණිස නිදානයක් වෙයි. අමෝහය කර්මය රැස්වීම පිණිස නිදානයක් වෙයි.
මහණෙනි, අලෝභයෙන් ලෝභය පහළ නොවේ. මහණෙනි, අලෝභයෙන් අලෝභයම පහළ වෙයි. මහණෙනි, අදෝෂයෙන් දෝෂය පහළ නොවෙයි. මහණෙනි, අදෝෂයෙන් අදෝෂයම පහළ වෙයි. මහණෙනි, අමෝහයෙන් මෝහය පහළ නොවෙයි. මහණෙනි, අමෝහයෙන් අමෝහයම පහළ වෙයි.
මහණෙනි, අලෝභයෙන් උපන් කර්‍මයෙන්, අදෝෂයෙන් උපන් කර්‍මයෙන්, අමෝහයෙන් උපන් කර්‍මයෙන් නරකය නොපැනෙයි. තිරච්ඡාන යෝනිය නොපැනෙයි. ප්‍රේත විෂය නොපැනෙයි. යම් අන් කිසි දුගතියක් වේ නම් එයද නොපැනෙයි. මහණෙනි, තවද අලෝභයෙන් උපන් කර්‍මයෙන්, අදෝෂයෙන් උපන් කර්‍මයෙන්, අමෝහයෙන් උපන් කර්‍මයෙන් දෙවියෝ පැනෙත්. මනුෂ්‍යයෝ පැනෙත්. අන් කිසියම් සුගතියක් වේ නම් එයද පැනෙයි.
මහණෙනි, කර්‍ම රැස්වීමට මේ නිදාන තුනයි.”
6. 1. 4. 10.
[කිම්බිල සුත්තං]
40. මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කිම්බිලා නුවර මිදෙල්ල වනයෙහි වාසය කරණ සේක. ඉක්බිති ආයුෂ්මත් කිම්බිල ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ආයුෂ්මත් කිම්බිල ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීවේය:
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ පසු සද්‍ධර්‍මය බොහෝ කල් නොපවත්නේ වේද, ඊට හේතු කවරේද, ඊට ප්‍රත්‍යය කවරේද?”
“කිම්බිලය, තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑ පසු භික්‍ෂූහු. භික්‍ෂුණීහු, උපාසකවරු, උපාසිකාවෝ ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තෝව, යටහත් නැත්තෝව වාසය කරත්. ධර්‍මයෙහි ගෞරව නැත්තෝව, යටහත් නැත්තෝව වාසය කෙරෙත්. සංඝයා කෙරෙහි ගෞරව නැත්තෝව, යටහත් නැත්තෝව වාසය කරත්. ශික්‍ෂා කෙරෙහි ගෞරව නැත්තෝව, යටහත් නැත්තෝව වාසය කරත්. අප්‍රමාදයෙහි ගෞරව නැත්තෝව, යටහත් නැත්තෝව වාසය කරත්. පිළිසඳර කථාවෙහි ගෞරව නැත්තෝව, යටහත් නැත්තෝව වාසය කරත්.”
“කිම්බිලය, තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑ පසු යම් කරුණකින් සද්‍ධර්‍මය බොහෝ කල් නොපවතින්නේ වේද, මේ ඊට හේතුය. මේ ඊට ප්‍රත්‍යය.”
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ පසු සද්‍ධර්‍මය බොහෝ කල් පවත්නේ වේද, ඊට හේතු කවරේද, ඊට ප්‍රත්‍යය කවරේද ?”