6. 1. 4. 10.
[කිම්බිල සුත්තං]
40. මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි භාග්යවතුන් වහන්සේ කිම්බිලා නුවර මිදෙල්ල වනයෙහි වාසය කරණ සේක. ඉක්බිති ආයුෂ්මත් කිම්බිල ස්ථවිර තෙමේ භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ආයුෂ්මත් කිම්බිල ස්ථවිර තෙම භාග්යවතුන් වහන්සේට මෙසේ කීවේය:
“ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ පිරිනිවන් පෑ පසු සද්ධර්මය බොහෝ කල් නොපවත්නේ වේද, ඊට හේතු කවරේද, ඊට ප්රත්යය කවරේද?”
“කිම්බිලය, තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑ පසු භික්ෂූහු. භික්ෂුණීහු, උපාසකවරු, උපාසිකාවෝ ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව නැත්තෝව, යටහත් නැත්තෝව වාසය කරත්. ධර්මයෙහි ගෞරව නැත්තෝව, යටහත් නැත්තෝව වාසය කෙරෙත්. සංඝයා කෙරෙහි ගෞරව නැත්තෝව, යටහත් නැත්තෝව වාසය කරත්. ශික්ෂා කෙරෙහි ගෞරව නැත්තෝව, යටහත් නැත්තෝව වාසය කරත්. අප්රමාදයෙහි ගෞරව නැත්තෝව, යටහත් නැත්තෝව වාසය කරත්. පිළිසඳර කථාවෙහි ගෞරව නැත්තෝව, යටහත් නැත්තෝව වාසය කරත්.”
“කිම්බිලය, තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑ පසු යම් කරුණකින් සද්ධර්මය බොහෝ කල් නොපවතින්නේ වේද, මේ ඊට හේතුය. මේ ඊට ප්රත්යය.”
“ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ පිරිනිවන් පෑ පසු සද්ධර්මය බොහෝ කල් පවත්නේ වේද, ඊට හේතු කවරේද, ඊට ප්රත්යය කවරේද ?”
“කිම්බිලය, තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑ පසු භික්ෂූහු. භික්ෂුණීහු, උපාසකවරු, උපාසිකාවෝ ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව ඇත්තෝව, යටහත් ඇත්තෝව වාසය කරත්. ධර්මයෙහි ගෞරව ඇත්තෝව, යටහත් ඇත්තෝව වාසය කරත්. සංඝයා කෙරෙහි ගෞරව ඇත්තෝව, යටහත් ඇත්තෝව වාසය කරත්. ශික්ෂා කෙරෙහි ගෞරව ඇත්තෝව, යටහත් ඇත්තෝව වාසය කරත්. අප්රමාදයෙහි ගෞරව ඇත්තෝව, යටහත් ඇත්තෝව වාසය කරත්. පිළිසඳර කථාවෙහි ගෞරව ඇත්තෝව, යටහත් ඇත්තෝව වාසය කරත්.”
“කිම්බිලය, තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑ පසු යම් කරුණකින් සද්ධර්මය බොහෝ කල් පවත්නේ වේද, මේ ඊට හේතුය. මේ ඊට ප්රත්යය.”
6. 1. 4. 11.
[දාරුක්ඛන්ධ සුත්තං]
41. මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේ රජගහනුවර ගිජුකුළු පව්වෙහි වාසය කරණ සේක.
ඉක්බිති ආයුෂ්මත් ශාරීපුත්ර ස්ථවිරයන් වහන්සේ පෙරවරු හැඳ පොරවා පාත්ර සිවුරු ගෙන බොහෝ භික්ෂූන් සමග ගිජුකුළු පව්වෙන් බසින්නේ එක්තරා තැනක මහත් දර කඳක් දුටුයේය. දැක භික්ෂූන්ට කථා කළහ: “ඇවැත්නි, තෙපි අර මහත් දර කඳ දක්නහුද?”
“එසේය ඇවැත්නි.”
“ඇවැත්නි, ඎර්ධි ඇති සිත වසඟකරගත් මහණ තෙම කැමැත්තේ නම් මේ දර කඳ පොළොවම යයි අදිට්ඨාන කරන්නේය. ඊට හේතු කවරේද: ඇවැත්නි, යම් හෙයකින් මහණ තෙම යමක් නිසා මේ දර කඳ පොළොවමයයි අදිට්ඨාන කරන්නේද, මේ දර කඳෙහි පඨවි ධාතුව ඇත.”
“ඇවැත්නි, ඎර්ධි ඇති සිත වසඟකරගත් මහණ තෙම කැමැත්තේ නම් මේ දර කඳ ජලයමයයි අදිට්ඨාන කරන්නේය... (පෙ)... තේජස යයි අදිට්ඨාන කරන්නේය... වාතය යයි අදිට්ඨාන කරන්නේය... ශුභයයි අදිට්ඨාන කරන්නේය... අශුභයයි අදිට්ඨාන කරන්නේය. ඊට හේතු කවරේද ? ඇවැත්නි, භික්ෂුතෙම යම් අශුභයක් නිසා මේ දර කඳ අශුභයයි සිතුවේද, මේ දරකඳෙහි ඒ අශුභ ධාතුව ඇත. එහෙයිනි.”
9. 1. 4. 12.
[නාගිත සුත්තං]
42. මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි භාග්යවතුන් වහන්සේ කොසොල් ජනපදයෙහි චාරිකාවෙහි හැසිරෙන්නේ ඉච්ඡානඞ්ගල නම් කොසොල් රටවාසීන්ගේ බමුණුගමක් වේද, එහි වැඩි සේක. භාග්යවතුන් වහන්සේ එහි ඉච්ඡානඞ්ගල වන ලැහැබෙහි වාසය කරණ සේක.