6. 1. 4. 8.
[අත්තකාර සූත්රය]
[සැවැත් නුවර නිදානයයි]
38. ඉක්බිති නාම ගොත්ර වශයෙන් අප්රසිද්ධ බ්රාහ්මණයෙක් භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේ සමග (කථාවෙන්) සතුටුවූයේය. සතුටු විය යුතුවූ, සිහි කටයුතුවූ කථාව කොට නිමවා එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ඒ බ්රාහ්මණතෙම භාග්යවතුන් වහන්සේට මෙසේ කීවේය:
“භවත් ගෞතමයන් වහන්ස, මම වනාහි ‘තමාගේ වැඩ කරන්නෙක් නැත. අනුන්ගේ වැඩ කරන්නෙක් නැතැයි’ මෙසේ කියන්නෙක්මි. මෙබඳු දෘෂ්ටි ඇත්තෙක්මි” යි.
“බමුණ, මම මෙසේ කියන්නාවූ, මෙබඳු දෘෂ්ටි ඇත්තාවූ බමුණකු නොදුටුයෙමි. නොඇසුයෙමි. තෙමේ ඉදිරියට යද්දී, තෙමේ ආපසු එද්දී, ‘තමාගේ වැඩ කරන්නෙක් නැත, අනුන්ගේ වැඩ කරන්නෙක් නැතැයි’ කෙසේ නම් මෙසේ කියයිද.
බමුණ, ඒ කුමකැයි හඟින්නෙහිද ? ආරම්භ (පටන් ගන්නා) ධාතුවක් ඇත්තේද ?”
“පින්වතුන් වහන්ස, එසේය.”
“ආරම්භ ධාතුව ඇති කල්හි ආරම්භ වීර්ය්ය ඇති සත්ත්වයන් දකින්ට ලැබෙත්දැ” යි ඇසීය.
“පින්වත, එසේය.”
“බමුණ, යම් හෙයකින් ආරම්භ ධාතුව ඇති කල්හි ආරම්භක වීර්ය්ය ඇති සත්ත්වයන් පෙනෙත්ද, මෙය සත්ත්වයන් අතර තමාගේ වැඩ කිරීමකි. මෙය අනුන්ගේ වැඩ කිරීමකි.”
“තවද බමුණ, ඒ කුමකැයි හඟින්නෙහිද? නික්මෙන ස්වභාවයක් (නික්ඛම ධාතුවක්) ඇත්තේද? ... පරාක්රම ස්වභාවයක් (පරක්කම ධාතුවක්) ඇත්තේද? ... ථාම ස්වභාවයක් (ථාම ධාතුවක්) ඇත්තේද? ... ස්ථිති ස්වභාවයක් (ඨිති ධාතුවක්) ඇත්තේද? ... උපක්රම ස්වභාවයක් (උපක්කම ධාතුවක්) ඇත්තේද?”
“එසේය, පින්වත.”
“උපක්රම ධාතුව ඇති කල්හි උපක්රම ඇති සත්ත්වයෝ පෙනෙත්ද?”
“එසේය, පින්වත.”
“බමුණ, යම් හෙයකින් උපක්රම ධාතුව ඇති කල්හි උපක්රම ඇති සත්ත්වයෝ පෙනෙත්ද, මෙය සත්ත්වයන්ගේ අත්තකාරය (තමා කරන වැඩය), මෙය පරකාරය (අනුන් කරන වැඩය) යි.”
“මම මෙසේ කියන්නාවූ මෙබඳු දෘෂ්ටියක් ඇත්තාවූ බමුණකු නොදුටුවෙමි. නොඇසුවෙමි. කෙසේ නම් තෙමේ ඉදිරියට යන්නේද, ආපසු එන්නේද, ‘තමාගේ වැඩ කරන්නෙක් නැත, අනුන්ගේ වැඩ කරන්නෙක් නැතැයි’ කෙසේ කියන්නේද?”
“භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති. භවත් ගෞතමයන් වහන්ස, යම් සේ යටිකුරු කරණ ලද්දක් උඩුකුරු කරන්නේද... (පෙ) ... අද සිට දිවි හිම් කොට සරණ ගිය උපාසකයකු කොට භවත් ගෞතමයන් වහන්සේ මා දරාවා.”
6. 1. 4. 9.
[කම්මනිදාන සූත්රය]
[සැවැත් නුවර නිදානයයි]
39. “මහණෙනි, කර්ම රැස්වීම පිණිස මේ හේතු තුනක් වෙත්.
කිනම් තුනක්ද යත්:
ලෝභය කර්ම රැස්වීම පිණිස නිදානයක් වෙයි. ද්වේෂය කර්ම රැස්වීම පිණිස නිදානයක් වෙයි. මෝහය කර්ම රැස්වීම පිණිස නිදානයක් වෙයි.
මහණෙනි, ලෝභයෙන් අලෝභය පහළ නොවේ. මහණෙනි, තවද ලෝභයෙන් ලෝභයම පහළ වෙයි. මහණෙනි, ද්වේෂයෙන් අදෝෂය පහළ නොවේ. මහණෙනි, තවද ද්වේෂයෙන් ද්වේෂයම පහළ වෙයි. මහණෙනි, මෝහයෙන් අමෝහය පහළ නොවේ. මහණෙනි, නැවතද මෝහයෙන් මෝහයම පහළ වේ.
මහණෙනි, ලෝභයෙන් උපන් කර්මයෙන්, ද්වේෂයෙන් උපන් කර්මයෙන්, මෝහයෙන් උපන් කර්මයෙන් දෙවියෝ නොපැනෙත්. මනුෂ්යයෝ නොපැනෙත්. අන් යම්කිසි සුගතියක් වේ නම් එයද නොපැනේ.
මහණෙනි, තවද ලෝභයෙන් උපන් කර්මයෙන්, ද්වේෂයෙන් උපන් කර්මයෙන්, මෝහයෙන් උපන් කර්මයෙන් නරකය පැනෙයි. තිරච්ඡාන යෝනිය පැනෙයි. ප්රේත විෂය පැනෙයි. යම් අන් කිසි දුගතියක් වේ නම් එයද පැනෙයි.
මහණෙනි, කර්ම රැස්වීමට මේ නිදාන තුනයි.”