6. 1. 3. 9.
උදායී අනුස්සතිට්ඨාන සූත්‍රය
[සැවැත් නුවර නිදාන කොට ගෙනය]
29. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් උදායී තෙරුන් ඇමතූ සේක:
‘උදායීනි, අනුස්මෘති කාරණා කෙතෙක්ද ?’ මෙසේ විචාල කල්හි ආයුෂ්මත් උදායී ස්ථවිරතෙම නිශ්ශබ්ද විය. දෙවනුවත් ඇමතූ සේක. දෙවනුවත් නිශ්ශබ්ද විය. තුන්වෙනුව ඇමතූ සේක. තුන්වෙනුවත් නිශ්ශබ්ද විය.
ඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙම ආයුෂ්මත් උදායී ස්ථවිරයන්ට මෙසේ කීය. ‘ඇවැත් උදායීනි, ශාස්තෲන් වහන්සේ ඔබ අමතන සේක.” “ආයුෂ්මත් ආනන්‍දයෙනි, මම භාග්‍යවතුන් වහන්සේහට ඇහුම්කන් දෙමි.
“ස්වාමීනි, මේ සස්නෙහි භික්‍ෂූහු නන් වැදෑරුම් ලෙස පෙර විසූ ජාතීන් සිහිකරත්. කෙසේද යත්: එක ජාතියක්ද, ජාති දෙකක්ද -පෙ- මෙසේ ආකාර සහිතව, උදෙසීම් සහිතව අනේකවිධ වූ පෙර විසූ කඳ පිළිවෙළ සිහි කෙරෙයි. ස්වාමීනි, මෙය අනුස්සතිට්ඨානයයි.”
එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ඇමතූ සේක: “ආනන්දය, මම දනිමි. මේ උදායී හිස් පුරුෂයා අධිචිත්තයෙහි යෙදී වාසය නොකරයි.”
“ආනන්දය, අනුස්සතිට්ඨාන (සිහි එළවා සිටීම්) කොපමණක් ද?”
“ස්වාමීනි, අනුස්සතිට්ඨාන පසකි.” “කවර පසක්ද යත්:”
(1) ස්වාමීනි, මෙහි භික්ෂුව කාමයන්ගෙන් වෙන්වම -පෙ- [පළමුවන ධ්‍යානය -පෙ- දෙවන ධ්‍යානය -පෙ-] තුන්වන ධ්‍යානයට පැමිණ වෙසෙයි.
ස්වාමීනි, මේ අනුස්මෘති කාරණයයි. මෙසේ වඩනා ලද්දේ, මෙසේ දියුණු කරණ ලද්දේ මෙලොව පහසු විහරණය පිණිස පවතියි.
(2) ස්වාමීනි, නැවතද වනාහි භික්‍ෂුතෙමේ ආලෝකය යන හැඟීම මෙනෙහි කෙරේද, දහවල යන හැඟීම ඉටාද, දහවල යම්සේද, රැයද එසේය. රැය යම්සේද, දහවලද එසේයයි නොවැසුන පිරිසිදු සිතින් බැබලීම් සහිත සිත වඩාද,
ස්වාමීනි, මේ අනුස්මෘති කාරණය මෙසේ වඩනා ලද්දේ, මෙසේ දියුණු කරණ ලද්දේ ඥාන දර්‍ශනය ලැබීම පිණිස පවතියි.”
(3) ස්වාමීනි, නැවතද වනාහි මහණතෙමේ මෙම කය පතුලෙන් උඩ, හිස කෙසින් යට සම අවසන්කොට පිරුණු නන් වැදෑරුම් අශූචි එකක් එකක් අනුව බලාද, මේ කයෙහි කෙස්ය, ලොම්ය, නියය, දත්ය, සමය, මස්ය, නහරය, ඇටය, ඇට මිදුළුය, වකුගඩුවය, හදවතය, අක්මාය, දළඹුවය, බඩදිවය, පපුවය, අතුනුය, බඩවැල්ය, නොපැසුන ආහාරය, මලය, පිතය, සෙමය, සැරවය, ලේය, ඩහදියය, මේද තෙලය, කඳුළුය, වුරුණු තෙලය, කෙළය, සොටුය, සද මිදුළුය, මූත්‍රය, (යනුවෙනි.)
ස්වාමීනි, මේ අනුස්මෘති කාරණායි. මෙසේ වඩන ලද්දේ, මෙසේ දියුණු කරණ ලද්දේ, කාම රාගය සංසිඳීම පිණිස පවතී.
(4) ස්වාමීනි, නැවතද භික්‍ෂුතෙමේ යම්සේ සොහොනේ දමන ලද මැරී දිනක්වූ, මැරී දෙදිනක්වූ, මැරී තුන් දිනක්වූ, ඉදිමී හෝ, ඉතා නිල්වූ හෝ, ඉතා පැසවූ හෝ ශරීරයක් බලන්නේද, හෙතෙමේ මේ කය වනාහි මෙබඳු ස්වභාව ඇත්තේය. මෙසේ වන සුලුය. මෙය ඉක්මුණේ නැතැයිද මේ කය මෙසේ සමකොට බලයි.