6. 1. 3. 10.
ඡානුත්තරිය සූත්රය
[සැවැත් නුවර නිදාන කොට ගෙනය]
30. “මහණෙනි, ඉතා උතුම් (කාරණා) සයෙකි. කවර සයෙක්ද යත් ?
ඉතා උතුම් දැකීම, උතුම් ඇසීම, උතුම් ලැබීම, උතුම් හික්මීම, උතුම් සේවය, උතුම් නැවත නැවත සිහි කිරීමය.
(1) “මහණෙනි, ඉතා උතුම් දැකීම කෙසේද ? මහණෙනි, මේ ලොව එකෙක් ඇත් රුවන දැක්මට යයි. අස් රුවන, මිණි රුවන, ලොකු කුඩා දෙය. වැරදි දැකීම් ඇති, වරදට පත් මහණකු හෝ බමුණකු දැක්මට යයි. මහණෙනි, මේ දැකීමක් වේද, මෙය නැතැයි නොකියමි. මහණෙනි, එහිද, මේ දැකීම වනාහි හීනය. පහත්ය. පුහුදුන් අයත්ය. ආර්ය නොවේ. වැඩ පිණිස නොවේ. කලකිරීම පිණිස නොවේ. නොඇල්ම පිණිස නොවේ. සිත නිරුද්ධ (නැති) කිරීම පිණිස නොවේ. (සිත) සමනය පිනිස නොවේ. විශේෂ දැනීම පිණිස නොවේ. මනාව දැනීම පිණිස නොවේ. නිවීම පිණිස නොවේ. “මහණෙනි, යමෙක් තෙම වනාහි පිහිටවූ සැදැහැ ඇත්තේ, පිහිටවූ ආදර ඇත්තේ, ඒකාන්ත වූයේ, මනාව පැහැදුනේ, තථාගතයන් හෝ තථාගත ශ්රාවකයකු හෝ දැකීමට යේද, මහණෙනි, මෙයම දැකීම් අතර ඉතා උතුම්ය. යමක් සත්ත්වයන්ගේ පිරිසිදුබව පිණිසද. හැඬීම්, වැලපීම් ඉක්මීමටද, දුක් දොම්නස් දුරු කිරීමටද, දතයුතු දේ දැනගැනීමටද, නිවන් අත්කිරීමටද පවතීද, මේ, (යමෙක්) පිහිටවූ සැදැහැ ඇත්තේ පිහිටවූ ආදර ඇත්තේ, ඒකාන්ත වූයේ, මනාව පැහැදුනේ,යයි යන කාරණයයි. මහණෙනි, මෙය උතුම් දැකීමයයි කියනු ලැබේ. ඉතා උතුම් දැකීම මෙසේය.
(2) ඉතා උතුම් ඇසීම කෙසේ වේද, “මහණෙනි, මේ ලොව එකෙක් බෙර හඬ ඇසීමට යේද, වීණා හඬ ඇසීමට යේද, ගී හඬ ඇසීමට යේද, ලොකු කුඩා දෙය වැරදි දැකීම් ඇති, වරදට පැමිණි මහණකුගේ හෝ බමුණකුගේ හෝ බණ ඇසීමට යේද, මහණෙනි, ඒ ඇසීමක් වේද, මෙය නැතැයි නොකියමි. මහණෙනි, එහිද මේ දැකීම වනාහි හීනය. පහත්ය. පුහුදුන් අයත්ය. ආර්ය නොවේ. වැඩ පිණිස නොවේ. කලකිරීම පිණිස නොවේ. නොඇල්ම පිණිස නොවේ. සිත නිරුද්ධ (නැති) කිරීම පිණිස නොවේ. (සිත) සමනය පිනිස නොවේ. විශේෂ දැනීම පිණිස නොවේ. මනාව දැනීම පිණිස නොවේ. නිවීම පිණිස නොවේ. “මහණෙනි, යමෙක් තෙම වනාහි පිහිටවූ සැදැහැ ඇත්තේ, පිහිටවූ ආදර ඇත්තේ, ඒකාන්ත වූයේ, මනාව පැහැදුනේ, තථාගතයන් හෝ තථාගත ශ්රාවකයෙකු හෝ දැක බණ ඇසීමට යේද, මහණෙනි, මෙයම ඇසීම් අතර ඒ ඉතා උතුම් ඇසීමය. යමක් සත්ත්වයන්ගේ පිරිසිදුබව පිණිසද. හැඬීම්, වැලපීම් ඉක්මීමටද, දුක් දොම්නස් දුරු කිරීමටද, දතයුතු දේ දැනගැනීමටද, නිවන් අත්කිරීමටද පවතීද, මේ, (යමෙක්) පිහිටවූ සැදැහැ ඇත්තේ පිහිටවූ ආදර ඇත්තේ, ඒකාන්ත වූයේ, මනාව පැහැදුනේ,යයි යන කාරණයයි. මහණෙනි, මෙය උතුම් ඇසීමයයි කියනු ලැබේ.
ඉතා උතුම් දැකීම හා ඇසීම මෙසේය.