6. 1. 3. 8.
[දුතියසමය සූත්‍රය]
28. එක් සමයෙක බරණැස මෘගයන්ට අභය ස්ථානවූ ඉසිපතන (විහාර) යෙහි බෝහෝ සම්බහුල ථෙර භික්‍ෂූහු වෙසෙත්. ඉක්බිති වනාහි පස්වරුයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණාහු කවාකාර මලුයෙහි රැස්ව වැඩහුන් ඒ ස්ථවිරයන් වහන්සේලා අතර මේ අතුරු කථාව පහළවූවාය. “ඇවැත්නි, සිත වැඩියයුතු භික්‍ෂුවගේ දැකීම පිණිස එළඹීමට අවස්ථාව කවරේද?”
මෙසේ කීකල, එක්තරා භික්‍ෂුවක් ඒ භික්‍ෂූන්ට මෙය කීය. “ඇවැත්නි, සිත වැඩියයුතු භික්‍ෂුතෙමේ පස් වරුයෙහි අහරින් වැළකුනේ යම් විටෙක පා සෝදා පළඟ බැඳ කය කෙළින් පිහිටුවා, සිහිය පෙරමුණු කොට හුන්නේවේද, ඒ වනාහි සිත වැඩියයුතු භික්‍ෂුවගේ දැකීම පිණිස එළඹීමට කාලයයි.”
මෙසේ කීකල, එක්තරා භික්‍ෂුවක් ඒ භික්‍ෂුවට මෙය කීය. “ඇවැත්නි, සිත වැඩියයුතු භික්‍ෂුවගේ දැකීමට එළඹියයුතු අවස්ථාව මෙය නොවේ. ඇවැත්නි, යම් විටෙක සිත වැඩියයුතු භික්‍ෂුතෙමේ පස් වරුයෙහි අහරින් වැළකුනේ යම් විටෙක පා සෝදා පළඟ බැඳ කය කෙළින් පිහිටුවා, සිහිය පෙරමුණු කොට හුන්නේවේද, එසමයෙහි ඔහුගේ චාරිත්‍රය නිසාවූ ක්ලාන්තයද නොසංසිඳුණේ වෙයි. ඔහුගේ ආහාරය නිසාවූ ක්ලාන්තයද නොසන්සිඳුණේ වෙයි. එහෙයින් සිත වැඩියයුතු භික්‍ෂුවගේ දැකීම පිණිස එළඹීමට ඒ අකාලයයි. ඇවැත්නි, සිත වැඩියයුතු භික්‍ෂුව යම් විටෙක සවස් කාල විවේකයෙන් නැගිටියේ වෙහෙර පස සෙවණැල්ලෙහි පළක් බැඳ, කය කෙලින් තබා සිහිය පෙරමුණුකොට හුන්නේ වේද, සිත වැඩියයුතු භික්‍ෂුව දැකීම පිණිස එළඹීමට ඒ කාලයයි.”
මෙසේ කී කල්හි එක්තරා භික්‍ෂුවක් ඒ භික්‍ෂුවට මෙය කීවේය. “සිත වැඩියයුතු භික්‍ෂුව දකිණු පිණිස පැමිණීමට ඒ අකාලයයි. ඇවැත්නි, යමි විටක සිත වැඩියයුතු භික්‍ෂුව සවස් කාලයෙහි විවේකයෙන් නැගිට පළඟ බැඳ, කය කෙළින් සිටුවා සිහිය පෙරටුකොට හුන්නේ වේද, දහවල් ඔහු යම් සමාධියක් සඳහා නිමිත්තක් මෙහෙයීම කරණ ලද්දේද, එයම ඔහුට ඒ අවස්ථාවෙහිද පවතියි. එහෙයින් සිත වැඩියයුතු භික්‍ෂුව දැකීමට ඒ අකාලයයි. යම් කාලයක සිත වැඩියයුතු භික්‍ෂුව රාත්‍රි අළුයම් කාලයෙහි නැගිට පළක් බැඳ, කය කෙලින් තබා සිහිය පෙරමුණුකොට හුන්නේ වේද, සිත වැඩියයුතු භික්‍ෂුව දැකීම පිණිස එළඹීමට ඒ කාලයයි.”
මෙසේ කී කල්හි එක්තරා භික්‍ෂුවක් ඒ භික්‍ෂුවට මෙය කීවේය. “සිත වැඩියයුතු භික්‍ෂුව දකිණු පිණිස පැමිණීමට ඒ අකාලයයි. එසමයෙහි ඔහුගේ කය ඕජසින් යුක්ත වේද, එසමයෙහි බුදු සස්න මෙනෙහි කරන්නට පහසුවේ. එහෙයින් සිත වැඩියයුතු භික්‍ෂුව දකිණු පිණිස පැමිණීමට ඒ අකාලයයි.”
මෙසේ කී කල්හි ආයුෂ්මත් මහා කාත්‍යායනයන් වහන්සේ ස්ථවිර භික්‍ෂූන්ට මෙසේ කීහ. “ඇවැත්නි, මෙය භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි අසන ලදී. උන්වහන්සේගේ හමුවෙහිදී පිළිගන්නා ලදී-”
”මහණෙනි, සිත වැඩියයුතු භික්‍ෂුවගේ දැකීම සඳහා එළඹීමට මේ අවස්ථා සයෙකි. කවර සයෙක්ද යත්:
(1) “මේ ශාසනයෙහි මහණතෙම යම් කාලයක කාම ආශාවෙන් පෙළුනු සිතින් යුක්තව වාසය කරයිද, කාමාශාවට භාජනවූ ඔහු විසින් උපන් කාමරාගයෙන් නික්මීම තත්වූ පරිද්දෙන් නොදනීද, ඒ කාලයෙහි සිත දියුණු කළ භික්‍ෂුව වෙත පැමිණ, ‘ඇවැත්නි, මම වනාහි කාමාශාවෙන් පෙළුනු සිතින් වාසය කරමි. කාමාශාවට භාජනවූ මා විසින් උපන් කාමරාගයෙන් නික්මීම තත්වූ පරිද්දෙන් නොදනිමි. ඒකාන්තයෙන් ආයුෂමත්තෙමේ මට කාමරාගය ප්‍රහීන කිරීමට බණ වදාරණු මැනව’ යි මෙසේ කිව යුතුය. උන්වහන්සේට සිත වැඩියයුතු මහණතෙම කාමාශාව ප්‍රහීණ කිරීම පිණිස බණ වදාරයි. මහණ, සිත වැඩියයුතු භික්‍ෂුව දැකීමට පැමිණීමට පළමුවෙනි කාලය මෙයයි.
(2) “මහණ, නැවතද යම් කාලයක මහණතෙම ව්‍යාපාදයෙන් පෙළුණු සිතින් යුක්තව වාසය කරයිද... (3) ථීනම්ද්‍ධයෙන් පෙළුණු සිතින් යුක්තව වාසය කරයිද... (4) උද්‍ධච්චකුක්කුච්චයෙන් පෙළුණු සිතින් යුක්තව වාසය කරයිද... (5) විචිකිච්ඡාවෙන් පෙළුණු සිතින් යුක්තව වාසය කරයිද... (6) යම් නිමිත්තක් ඇසුරු කොට යම් නිමිත්තක් මෙනෙහි කරන්නාට අනතුරුවම ආශ්‍රවයන්ගේ ක්ෂය වීම වේද, ඒ නිමිත්ත නොදනීද, නොදකීද, එසමයෙහි සිත දියුණු කළ භික්‍ෂුව වෙත පැමිණ මෙසේ කිය යුතුය: ‘ඇවැත්නි, මම වනාහි යම් නිමිත්තක් ඇසුරු කොට යම් නිමිත්තක් මෙනෙහි කරන්නාට අනතුරුවම ආශ්‍රවයන්ගේ ක්ෂය වීම වේද, ඒ නිමිත්ත නොදනිමි, නොදකිමි. ආයුෂ්මතුන් වහන්සේ මට ආශ්‍රවයන්ගේ ක්ෂය වීම පිණිස ධර්මය දේශනා කරන සේක්වා!’ යි. ඔහුට ඒ සිත දියුණු කළ භික්‍ෂුව ආශ්‍රවයන්ගේ ක්ෂය වීම පිණිස ධර්මය දේශනා කරයි. මහණ, සිත දියුණු කළ භික්‍ෂුව දැකීමට පැමිණීමට මේ සයවැනි කාලයයි.”
“ඇවැත්නි, මෙය භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි අසන ලදී, පිළිගන්නා ලදී: ‘මහණෙනි, සිත වැඩියයුතු භික්‍ෂුවගේ දැකීම සඳහා එළඹීමට මේ අවස්ථා සයයි.’”
6. 1. 3. 9.
උදායී අනුස්සතිට්ඨාන සූත්‍රය
[සැවැත් නුවර නිදාන කොට ගෙනය]
29. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් උදායී තෙරුන් ඇමතූ සේක:
‘උදායීනි, අනුස්මෘති කාරණා කෙතෙක්ද ?’ මෙසේ විචාල කල්හි ආයුෂ්මත් උදායී ස්ථවිරතෙම නිශ්ශබ්ද විය. දෙවනුවත් ඇමතූ සේක. දෙවනුවත් නිශ්ශබ්ද විය. තුන්වෙනුව ඇමතූ සේක. තුන්වෙනුවත් නිශ්ශබ්ද විය.