6. 1. 1. 8.
8. සංඛිත්තානුත්තරිය සූත්රය
[සැවැත් නිදානය]
8. “මහණෙනි, ශ්රේෂ්ඨ ධර්ම සයක් වෙත්. කිනම් සයක්ද යත් ?
ශ්රේෂ්ඨ දැකීම, ශ්රේෂ්ඨ ඇසීම, ශ්රේෂ්ඨ ලාභය, ශ්රේෂ්ඨ හික්මීම, ශ්රේෂ්ඨ වත් පිලිවෙත්, ශ්රේෂ්ඨ සිහිය යන සයයි.
“මහණෙනි, මේ වනාහි ශ්රේෂ්ඨ ධර්ම සයයි.
6. 1. 1. 9.
9. අනුස්සතිඨාන සූත්රය
[සැවැත් නිදානය]
9. “මහණෙනි, නැවත නැවත සිහිය පිහිටුවියයුතු තැන් සයක් වෙති. කිනම් සයක්ද යත් ?
බුදුන් අරමුණුකොට ඇති සිහිය, ධර්මය අරමුණුකොට ඇතිවන සිහිය, සංඝයා අරමුණුකොට ඇතිවන සිහිය, ශීලය අරමුණුකොට ඇතිවන සිහිය, පරිත්යාගය අරමුණුකොට ඇතිවන සිහිය, දේවතාවන් ශාක්ෂි වශයෙන් තබා ඇතිවන සිහිය, යනුයි.
“මහණෙනි, නැවත නැවත සිහිය පිහිටුවියයුතු තැන් සයක් වෙති.
6. 1. 1. 10.
10. මහානාම ආගතඵල සූත්රය
10. “එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ ශාක්ය ජනපදයෙහි කිඹුල්වත් නුවර නිග්රෝධාරාමයෙහි වාසය කරණ සේක. ඉක්බිති මහානාම ශාක්ය තෙම භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්නේය.
එකත් පසෙක උන් මහානාම ශාක්ය තෙම භාග්යවතුන් වහන්සේට, ‘ස්වාමීනි, පැමිණි මාර්ගඵල ඇති දැනගත් ශාසනය ඇති යම් ඒ ආර්ය්ය ශ්රාවකයෙක් වේද, හෙතෙම කවර විමසීමකින් වැඩි වශයෙන් වාසය කෙරේදැයි ඇසූයේය.
“මහානාමයෙනි, පැමිණි මාර්ගඵල ඇති දැනගත් ශාසනය ඇති යම් මේ ආර්ය්ය ශ්රාවකයෙක් වේද, හෙතෙම මෙහි පහත පෙන්වන විසීමෙන් වැඩි වශයෙන් වාසය කරයි.
(1) “මහානාමය, මේ ශාසනයෙහි ආර්ය්යශ්රාවක තෙම ඒ භාග්යවතුන් වහන්සේ මේ කාරණයෙන්ද අර්හත්ය, සම්යක් සම්බුද්ධය, විද්යාචරණයන්ගෙන් යුක්තය, සුගතය, ලෝකය දත්තේය. පුරුෂයන් දමනය කරන ශ්රේෂ්ඨ උත්තමයාය, දෙවි මිනිසුන්ගේ ශාස්තෲවරයාය, බුද්ධය, භාග්ය ඇත්තේයයි තථාගතයන් වහන්සේ සිහිකරයි. මහානාමය, යම් කාලයක ආර්ය්ය ශ්රාවකතෙම තථාගතයන් වහන්සේ සිහි කරයිද, ඒ කාලයෙහි ඔහුගේ සිත රාගයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ද්වේෂයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. මෝහයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ඒ කාලයේ ඔහුගේ සිත ඇද නැති බවට ගියේ වේ. මහානාමය, තථාගතයන් වහන්සේ අරභයා ඇද නැති බවට ගිය සිත් ඇති ආර්ය්ය ශ්රාවකතෙම ප්රතිපදාවන්ගෙන් සතුට ලබයි. නව ලොකෝත්තර ධර්මයෙන් සතුට ලබයි. ධර්මය හා මිශ්රවූ ප්රමෝදය ලබයි. ප්රමෝද වූවහුට ප්රීතිය උපදියි. ප්රීති සිත් ඇත්තහුගේ ශරීරය බර ඇරෙයි. බර ඇරුනු ශරීරය ඇත්තා සැපක් විඳී. සැප ඇත්තාගේ සිත එකඟ වෙයි. මහානාමය, ආර්ය්යශ්රාවක තෙම විෂමවූ සත්ත්වයන් අතර සමව පවතිමින් වාසය කරයි. ක්රොධ සහිත සත්ත්වයන් අතර ක්රොධ නැතිව වාසය කරයි. ධර්ම නැමැති සැඩපහරට බැස්සේ බුද්රුන් අරමුණුකොට ඇති සිහිය වඩයි.
(2) “මහානාමය, නැවතද ආර්ය්යශ්රාවක තෙම භාග්යවතුන් වහන්සේ විසින් ධර්මය මනාකොට වදාරණ ලදී. ඇස් ඉදිරිපිට දැක්ක හැකි ගුණ ඇත්තේය. කල් නොයවා දෙන විපාක ඇත්තේය. එව බලවයි කීමට සුදුසුය. තමා වෙත පමුණුවා ගතයුතු ගුණ ඇත්තේය. නුවණැත්තන් තමා විසින්ම දත යුත්තේයයි ධර්මය සිහි කරයි. මහානාමය, යම් කලෙක්හි ආර්ය්යශ්රාවක තෙම ධර්මය සිහි කරයිද, ඒ කාලයෙහි ඔහුගේ සිත රාගයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ද්වේෂයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. මෝහයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ඒ කාලයේ ඔහුගේ සිත ඇද නැති බවට ගියේ වේ. මහානාමය, ධර්මය අරභයා ඇද නැති බවට ගිය සිත් ඇති ආර්ය්ය ශ්රාවකතෙම ප්රතිපදාවන්ගෙන් සතුට ලබයි. නව ලොකෝත්තර ධර්මයෙන් සතුට ලබයි. ධර්මය හා මිශ්රවූ ප්රමෝදය ලබයි. ප්රමෝද වූවහුට ප්රීතිය උපදියි. ප්රීති සිත් ඇත්තහුගේ ශරීරය බර ඇරෙයි. බර ඇරුනු ශරීරය ඇත්තා සැපක් විඳී. සැප ඇත්තාගේ සිත එකඟ වෙයි. මහානාමය, ආර්ය්යශ්රාවක තෙම විෂමවූ සත්ත්වයන් අතර සමව පවතිමින් වාසය කරයි. ක්රොධ සහිත සත්ත්වයන් අතර ක්රොධ නැතිව වාසය කරයි. ධර්ම නැමැති සැඩපහරට බැස්සේ ධර්මය අරමුණුකොට ඇති සිහිය වඩයි.