1. ආහුණෙය්‍ය වර්ගය
නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස
6. 1. 1. 1.
1. උපෙක්ඛාහුණෙය්‍ය සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක. ඒ භික්ෂූහු. “පින්වතුන් වහන්සැ” යි භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
“මහණෙනි, කරුණු සයකින් යුක්තවූ මහණ තෙම දුර සිට ගෙනා දෙය පිදීමට සුදුසු වේ. ඈතට ගෙන යන දෙය පිදීමට සුදුසු වේ. දක්ෂිණ නම් දානයට සුදුසු වේ. දොහොත් මුදුන් ලබා වැඳීමට සුදුසු වේ. ලෝකයාගේ උතුම් පින් කෙත වේ. කිනම් කරුණු සයකින්ද යත් ?
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ඇසින් රූපයක් දැක සතුටු සිත් ඇත්තේත් නොවේද, නොසතුටු සිත් ඇත්තේත් නොවේද, සිහි ඇතිව, යහපත් නුවණින් යුක්තව මධ්‍යස්ථවූයේ වේද,
“කණින් ශබ්දයක් අසා සතුටු සිත් ඇත්තේත් නොවේද, නොසතුටු සිත් ඇත්තේත් නොවේද, සිහි ඇතිව, යහපත් නුවණින් යුක්තව මධ්‍යස්ථවූයේ වේද, නාසයෙන් ගඳ සුවඳක් ආඝ්‍රාණය කොට සතුටු සිත් ඇත්තේත් නොවේද, නොසතුටු සිත් ඇත්තේත් නොවේද, සිහි ඇතිව, යහපත් නුවණින් යුක්තව මධ්‍යස්ථවූයේ වේද, දිවෙන් රසයක් විඳ සතුටු සිත් ඇත්තේත් නොවේද, නොසතුටු සිත් ඇත්තේත් නොවේද, සිහි ඇතිව, යහපත් නුවණින් යුක්තව මධ්‍යස්ථවූයේ වේද, ශරීරයෙන් ස්පර්ශයක් දැනී සතුටු සිත් ඇත්තේත් නොවේද, නොසතුටු සිත් ඇත්තේත් නොවේද, සිහි ඇතිව, යහපත් නුවණින් යුක්තව මධ්‍යස්ථවූයේ වේද, සිතින් ධර්මයක් දැන සතුටු සිත් ඇත්තේත් නොවේද, නොසතුටු සිත් ඇත්තේත් නොවේද, සිහි ඇතිව, යහපත් නුවණින් යුක්තව මධ්‍යස්ථවූයේ වේද.
“මහණෙනි, මේ කරුණු සයකින් යුක්තවූ මහණ තෙම දුර සිට ගෙනා දෙය පිදීමට සුදුසු වේ. ඈතට ගෙන යන දෙය පිදීමට සුදුසු වේ. දක්ෂිණ නම් දානයට සුදුසු වේ. දොහොත් මුදුන් ලබා වැඳීමට සුදුසු වේ. ලෝකයාගේ උතුම් පින් කෙත වේ.
“භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇත්තාවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට සතුටුවූහ.”
6. 1. 1. 2.
2. ඡලභිඤ්ඤාහුණෙය්ය සූත්‍රය
[සැවැත් නිදානය]
2. මහණෙනි, කරුණු සයකින් යුක්ත වූ මහණ තෙම දුර සිට ගෙනෙන දෙය පිදීමට සුදුසු වෙයි, ආගන්තුකයන් සඳහා පිළියෙළ කළ දෙය පිදීමට සුදුසු වෙයි, දක්ෂිණාවට සුදුසු වෙයි, දොහොත් මුදුන් තබා වැඳීමට සුදුසු වෙයි, ලෝකයාගේ උතුම් පින් කෙත වෙයි. කවර සයකින් ද යත්:
(1) මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම නොයෙක් ආකාර වූ ඍද්ධි ප්‍රභේද ලබයි: එක් අයෙකු ව සිට බොහෝ අය වෙයි, බොහෝ අය ව සිට එක් අයෙකු වෙයි. පෙනී සිටීම (ආවිර්භාවය) ද නොපෙනී යාම (තිරෝභාවය) ද කරයි. අහසෙහි මෙන් බිත්තියෙන් එපිටට, පවුරෙන් එපිටට, පර්වතයෙන් එපිටට නොගැටෙමින් යයි. දියෙහි මෙන් පොළොවෙහි ද කිමිදීම් හා මතුවීම් කරයි. පොළොවෙහි මෙන් දිය නොබිඳෙමින් දියෙහි ද යයි. පියාපත් ඇති පක්ෂියෙකු මෙන් අහසෙහි ද පළඟ බැඳගෙන යයි. මෙතරම් මහත් ඍද්ධි ඇති, මෙතරම් මහත් ආනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා ද අතින් ස්පර්ශ කරයි, පිරිමදියි. බඹලොව දක්වා ද කයින් වසඟයෙහි පවත්වයි.
(2) පිරිසිදුවූ මිනිස් බව ඉක්මවූ දිව්‍යවූ ශ්‍රෝත ධාතුවෙන් දුරවූද ළඟවූද දිව්‍යවූද මානුෂිකවූද උභය ශබ්දයන් අසයි.
(3) අන්‍ය සත්ත්වයන්ගේ, අන්‍ය පුද්ගලයන්ගේ සිත් තම සිතින් පිරිසිඳ දනියි: (ලෝභය සහිත අට වැදෑරුම්) සරාග සිත හෝ සරාග සිත යැයි දනියි, (ඉතිරි කුසල් හා අව්‍යාකෘත) වීතරාග සිත හෝ වීතරාග සිත යැයි දනියි, (දොම්නස සහිත දෙවැදෑරුම්) සදෝස සිත හෝ ... (භූමි සතරෙහි කුසල් හා අව්‍යාකෘත) වීතදෝස සිත හෝ ... (විචිකිච්ඡාව හා උද්ධච්චය සහිත) සමෝහ සිත හෝ ... වීතමෝහ සිත හෝ ... (ථීනමිද්ධයට, එනම් අලසකමට හා නිදිමතට යට වූ) හැකුළුණු (සංඛිත්ත) සිත හෝ ... (උද්ධච්චයට යට වූ) විසිරුණු (වික්ඛිත්ත) සිත හෝ ... (රූපාවචර, අරූපාවචර) මහග්ගත සිත හෝ ... (ඉතිරි) අමහග්ගත සිත හෝ ... (භූමි තුනෙහි සියලු) සඋත්තර සිත හෝ ... (ලෝකෝත්තර) අනුත්තර සිත හෝ ... (උපචාර සමාධියට හෝ අර්පණා සමාධියට පැමිණි) සමාහිත සිත හෝ ... (ඒ දෙකට නොපැමිණි) අසමාහිත සිත හෝ ... (පස් වැදෑරුම් විමුක්තියෙන්) මිදුණු (විමුක්ත) සිත හෝ මිදුණු සිත යැයි දනියි ... (එයින් නොමිදුණු) නොමිදුණු (අවිමුක්ත) සිත හෝ නොමිදුණු සිත යැයි දනියි.
(4) නොයෙක් ආකාර වූ පෙර විසූ ආත්මභාව සිහි කරයි. එනම්: එක් ජාතියක් ද, ජාති දෙකක් ද, ජාති තුනක් ද, ජාති හතරක් ද, ජාති පහක් ද, ජාති දහයක් ද, ජාති විස්සක් ද, ජාති තිහක් ද, ජාති හතළිහක් ද, ජාති පනහක් ද, ජාති සියයක් ද, ජාති දහසක් ද, ජාති ලක්ෂයක් ද, නොයෙක් සංවර්ත කල්ප ද, නොයෙක් විවර්ත කල්ප ද, නොයෙක් සංවර්ත විවර්ත කල්ප ද සිහි කරයි: ‘අසවල් තැන මම වීමි. එහි මෙබඳු නම් ඇත්තෙම්, මෙබඳු ගොත් ඇත්තෙම්, මෙබඳු පැහැ ඇත්තෙම්, මෙබඳු ආහාර ඇත්තෙම්, මෙබඳු සැප දුක් විඳින්නෙම්, මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එතැනින් චුත ව අසවල් තැන උපන්නෙමි. එහි ද මෙබඳු නම් ඇත්තෙම්, මෙබඳු ගොත් ඇත්තෙම්, මෙබඳු පැහැ ඇත්තෙම්, මෙබඳු ආහාර ඇත්තෙම්, මෙබඳු සැප දුක් විඳින්නෙම්, මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීමි. ඒ මම එතැනින් චුත ව මෙහි උපන්නෙමි’ යි මෙසේ (පැහැය ආදී) ආකාර සහිත ව, (නම් ගොත් ආදී) උද්දේස සහිත ව නොයෙක් ආකාර වූ පෙර විසූ ආත්මභාව සිහි කරයි.