6. 1. 1. 6.
6. බලාජානීය සූත්‍රය
[සැවැත් නිදානය]
6. “මහණෙනි, රජුගේ කරුණු සයකින් යුක්තවූ යහපත් ආජානෙය අශ්වයා රජුට සුදුසු වේ, රජුගේ වස්තුව වේ, රජුගේ අවයවයෙකැයි යන සංඛ්‍යාවට යයි. කවර සයකින්ද යත් ?
“මහණෙනි, මේ ලෝකයෙහි රජුගේ යහපත් ආජානෙය අශ්වතෙම රූප ඉවසන්නේ වේද, ශබ්ද ඉවසන්නේ වේද, ගන්‍ධ ඉවසන්නේ වේද, රස ඉවසන්නේ වේද, ස්පර්‍ශ ඉවසන්නේ වේද, බලයෙන් යුක්ත වේද,
“මහණෙනි, රජුගේ කරුණු සයකින් යුක්තවූ යහපත් ආජානෙය අශ්වයා රජුට සුදුසු වේ, රජුගේ වස්තුව වේ, රජුගේ අවයවයෙකැයි යන සංඛ්‍යාවට යයි.
මහණෙනි, එසේම කරුණු සයකින් යුක්තවූ භික්‍ෂුව ආහුණෙය්‍ය වෙයි ... ලෝකයාගේ අනුත්තර පින්කෙත වෙයි. කවර සයකින්ද යත්:
මහණෙනි, මෙහි මහණතෙම රූප ඉවසන්නේ වේද, ශබ්ද ඉවසන්නේ වේද, ගන්ධ ඉවසන්නේ වේද, රස ඉවසන්නේ වේද, ස්පර්ශ ඉවසන්නේ වේද, ධර්ම ඉවසන්නේ වේද.
මහණෙනි, මේ ධර්ම සයෙන් යුක්තවූ භික්‍ෂුව ආහුණෙය්‍ය වෙයි ... ලෝකයාගේ අනුත්තර පින්කෙත වෙයි.
6. 1. 1. 7.
7. ජවාජානීය සූත්‍රය
[සැවැත් නිදානය]
7. “මහණෙනි, රජුගේ කරුණු සයකින් යුක්තවූ යහපත් ආජානෙය අශ්වයා රජුට සුදුසු වේ, රජුගේ වස්තුව වේ, රජුගේ අවයවයෙකැයි යන සංඛ්‍යාවට යයි. කවර සයකින්ද යත් ?
“මහණෙනි, මේ ලෝකයෙහි රජුගේ යහපත් ආජානෙය අශ්වතෙම රූප ඉවසන්නේ වේද, ශබ්ද ඉවසන්නේ වේද, ගන්‍ධ ඉවසන්නේ වේද, රස ඉවසන්නේ වේද, ස්පර්‍ශ ඉවසන්නේ වේද, වේගයෙන් යුක්ත වේද,
“මහණෙනි, රජුගේ කරුණු සයකින් යුක්තවූ යහපත් ආජානෙය අශ්වයා රජුට සුදුසු වේ, රජුගේ වස්තුව වේ, රජුගේ අවයවයෙකැයි යන සංඛ්‍යාවට යයි.
මහණෙනි, එසේම කරුණු සයකින් යුක්තවූ භික්‍ෂුව ආහුණෙය්‍ය වෙයි ... ලෝකයාගේ අනුත්තර පින්කෙත වෙයි. කවර සයකින්ද යත්:
මහණෙනි, මෙහි මහණතෙම රූප ඉවසන්නේ වෙයි... ධර්ම ඉවසන්නේ වෙයි.
මහණෙනි, මේ ධර්ම සයෙන් යුක්තවූ භික්‍ෂුව ආහුණෙය්‍ය වෙයි ... ලෝකයාගේ අනුත්තර පින්කෙත වෙයි.
6. 1. 1. 8.
8. සංඛිත්තානුත්තරිය සූත්‍රය
[සැවැත් නිදානය]
8. “මහණෙනි, ශ්‍රේෂ්ඨ ධර්‍ම සයක් වෙත්. කිනම් සයක්ද යත් ?
ශ්‍රේෂ්ඨ දැකීම, ශ්‍රේෂ්ඨ ඇසීම, ශ්‍රේෂ්ඨ ලාභය, ශ්‍රේෂ්ඨ හික්මීම, ශ්‍රේෂ්ඨ වත් පිලිවෙත්, ශ්‍රේෂ්ඨ සිහිය යන සයයි.
“මහණෙනි, මේ වනාහි ශ්‍රේෂ්ඨ ධර්‍ම සයයි.
6. 1. 1. 9.
9. අනුස්සතිඨාන සූත්‍රය
[සැවැත් නිදානය]
9. “මහණෙනි, නැවත නැවත සිහිය පිහිටුවියයුතු තැන් සයක් වෙති. කිනම් සයක්ද යත් ?
බුදුන් අරමුණුකොට ඇති සිහිය, ධර්‍මය අරමුණුකොට ඇතිවන සිහිය, සංඝයා අරමුණුකොට ඇතිවන සිහිය, ශීලය අරමුණුකොට ඇතිවන සිහිය, පරිත්‍යාගය අරමුණුකොට ඇතිවන සිහිය, දේවතාවන් ශාක්‍ෂි වශයෙන් තබා ඇතිවන සිහිය, යනුයි.
“මහණෙනි, නැවත නැවත සිහිය පිහිටුවියයුතු තැන් සයක් වෙති.