6. 1. 1. 4.
4. ආහුණෙය්‍ය බල සූත්‍රය
[සැවැත් නිදානය]
4. “මහණෙනි, කරුණු සයකින් යුක්තවූ මහණ තෙම දුර සිට ගෙනා දෙය පිදීමට සුදුසු වේ... ලෝකයාගේ උතුම් පින් කෙත වේ. කිනම් සයකින්ද යත් ?
බලවත් ශ්‍රද්‍ධාවෙන්, බලවත් වීර්‍ය්‍යයෙන්, බලවත් සිහියෙන්, බලවත් සමාධියෙන්, බලවත් ප්‍රඥාවෙන්, කෙලෙස් ක්‍ෂය කිරීමෙන්, කෙලෙස් නැති අර්හත් ඵල සමාධියද, අර්හත් ඵල ප්‍රඥාවද, මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂකොට පැමිණ වාසය කරයි.”
“මහණෙනි, කරුණු සයකින් යුක්තවූ මහණ තෙම දුර සිට ගෙනා දෙය පිදීමට සුදුසු වේ. ඈතට ගෙන යන දෙය පිදීමට සුදුසු වේ. දක්‍ෂිණ නම් දානයට සුදුසු වේ. දොහොත් මුදුන් ලබා වැඳීමට සුදුසු වේ. ලෝකයාගේ උතුම් පින් කෙත වේ.”
6. 1. 1. 5.
5. වණ්ණජානීය සූත්‍රය
[සැවැත් නිදානය]
5. “මහණෙනි, රජුගේ කරුණු සයකින් යුක්තවූ යහපත් ආජානෙය අශ්වයා රජුට සුදුසු වේ, රජුගේ වස්තුව වේ, රජුගේ අවයවයෙකැයි යන සංඛ්‍යාවට යයි. කවර සයකින්ද යත් ?
“මහණෙනි, මේ ලෝකයෙහි රජුගේ යහපත් ආජානෙය අශ්වතෙම රූප ඉවසන්නේ වේද, ශබ්ද ඉවසන්නේ වේද, ගන්‍ධ ඉවසන්නේ වේද, රස ඉවසන්නේ වේද, ස්පර්‍ශ ඉවසන්නේ වේද, ලක්‍ෂණයෙන් යුක්ත වේද,
“මහණෙනි, රජුගේ කරුණු සයකින් යුක්තවූ යහපත් ආජානෙය අශ්වයා රජුට සුදුසු වේ, රජුගේ වස්තුව වේ, රජුගේ අවයවයෙකැයි යන සංඛ්‍යාවට යයි.
“මහණෙනි, එසේම කරුණු සයකින් යුක්තවූ මහණ තෙම දුර සිට ගෙනා දෙය පිදීමට සුදුසු වේ... ලෝකයාගේ උතුම් පින් කෙත වේ. කවර සයකින්ද යත් ?
මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම රූප ඉවසන්නේ වේද, ශබ්ද ඉවසන්නේ වේද, ගන්ධ ඉවසන්නේ වේද, රස ඉවසන්නේ වේද, ස්පර්ශ ඉවසන්නේ වේද, ධර්ම ඉවසන්නේ වේද.
“මහණෙනි, කරුණු සයකින් යුක්තවූ මහණ තෙම දුර සිට ගෙනා දෙය පිදීමට සුදුසු වේ. ඈතට ගෙන යන දෙය පිදීමට සුදුසු වේ. දක්‍ෂිණ නම් දානයට සුදුසු වේ. දොහොත් මුදුන් ලබා වැඳීමට සුදුසු වේ. ලෝකයාගේ උතුම් පින් කෙත වේ.”
6. 1. 1. 6.
6. බලාජානීය සූත්‍රය
[සැවැත් නිදානය]
6. “මහණෙනි, රජුගේ කරුණු සයකින් යුක්තවූ යහපත් ආජානෙය අශ්වයා රජුට සුදුසු වේ, රජුගේ වස්තුව වේ, රජුගේ අවයවයෙකැයි යන සංඛ්‍යාවට යයි. කවර සයකින්ද යත් ?
“මහණෙනි, මේ ලෝකයෙහි රජුගේ යහපත් ආජානෙය අශ්වතෙම රූප ඉවසන්නේ වේද, ශබ්ද ඉවසන්නේ වේද, ගන්‍ධ ඉවසන්නේ වේද, රස ඉවසන්නේ වේද, ස්පර්‍ශ ඉවසන්නේ වේද, බලයෙන් යුක්ත වේද,
“මහණෙනි, රජුගේ කරුණු සයකින් යුක්තවූ යහපත් ආජානෙය අශ්වයා රජුට සුදුසු වේ, රජුගේ වස්තුව වේ, රජුගේ අවයවයෙකැයි යන සංඛ්‍යාවට යයි.
මහණෙනි, එසේම කරුණු සයකින් යුක්තවූ භික්‍ෂුව ආහුණෙය්‍ය වෙයි ... ලෝකයාගේ අනුත්තර පින්කෙත වෙයි. කවර සයකින්ද යත්:
මහණෙනි, මෙහි මහණතෙම රූප ඉවසන්නේ වේද, ශබ්ද ඉවසන්නේ වේද, ගන්ධ ඉවසන්නේ වේද, රස ඉවසන්නේ වේද, ස්පර්ශ ඉවසන්නේ වේද, ධර්ම ඉවසන්නේ වේද.
මහණෙනි, මේ ධර්ම සයෙන් යුක්තවූ භික්‍ෂුව ආහුණෙය්‍ය වෙයි ... ලෝකයාගේ අනුත්තර පින්කෙත වෙයි.