206.
6. විනිබන්‍ධ සූත්‍රය
[සැවැත් නිදානයි]
6. “මහණෙනි, මේ සිතේ බැඳ ගැණීම් පසක් වෙත්. කවර පසක්ද යත්?
මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම කාමයන්හි පහ නොවූ රාගය ඇත්තේ. පහනොවූ ආලය ඇත්තේ, පහනොවූ ප්‍රේමය ඇත්තේ, පහව නොගිය කාම පිපාසා ඇත්තේ, පහව නොගිය පරිඩාහ ඇත්තේ. පහව නොගිය තෘෂ්ණා ඇත්තේ වේ. මහණෙනි, යම් ඒ භික්‍ෂුවක් තෙම කාමයන්හි පහව නොගිය රාග ඇත්තේ, පහව නොගිය ආසා ඇත්තේ, පහව නොගිය ප්‍රේම ඇත්තේ, පහව නොගිය පිපාසා ඇත්තේ, පහව නොගිය පරිඩාහ ඇත්තේ, පහව නොගිය තෘෂණා ඇත්තේ වේද. ඔහුගේ සිත කෙළෙස් තැවීම පිණිස. නැවත නැවත යෙදීම පිණිස සතතයෙන් කිරීම පිණිස, වීර්‍ය්‍යය කිරීම පිණිස නොනැමෙයි. මේ පළමුවන සිතේ බැඳ ගැනීම වේ.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂු තෙම කයෙහි පහව නොගිය රාග ඇත්තේ, පහව නොගිය ආසා ඇත්තේ, පහව නොගිය ප්‍රේම ඇත්තේ, පහව නොගිය පිපාසා ඇත්තේ, පහව නොගිය පරිඩාහ ඇත්තේ, පහව නොගිය තෘෂණා ඇත්තේ වේද. ඔහුගේ සිත කෙළෙස් තැවීම පිණිස. නැවත නැවත යෙදීම පිණිස සතතයෙන් කිරීම පිණිස, වීර්‍ය්‍යය කිරීම පිණිස නොනැමෙයි. රූපයෙහි පහව නොගිය රාග ඇත්තේ, පහව නොගිය ආසා ඇත්තේ, පහව නොගිය ප්‍රේම ඇත්තේ, පහව නොගිය පිපාසා ඇත්තේ, පහව නොගිය පරිඩාහ ඇත්තේ, පහව නොගිය තෘෂණා ඇත්තේ වේද. ඔහුගේ සිත කෙළෙස් තැවීම පිණිස. නැවත නැවත යෙදීම පිණිස සතතයෙන් කිරීම පිණිස, වීර්‍ය්‍යය කිරීම පිණිස නොනැමෙයි. කැමතිතාක් බඩ ගන්නා තෙක් වළඳා ශයන සැපයෙහි, ස්පර්‍ශ සැපයෙහි, නිද්‍රා සැපයෙහි යෙදී වාසය කෙරෙයි. හෙතෙම එක්තරා දිව්‍ය නිකායක් ප්‍රාර්ත්‍ථනා කොට ‘මම මේ ශීලයෙන් හෝ, වෘත්තයෙන් හෝ, තපසින් හෝ, බ්‍රහ්මචර්‍ය්‍යාවෙන් හෝ දෙවියෙක් හෝ වන්නෙමි. දෙවියන්ගෙන් එක්තරා කෙනෙක් හෝ වන්නෙමි’ යි එක්තරා දිව්‍ය නිකායක් ප්‍රාර්ත්‍ථනාකොට බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙයි. මහණෙනි, යම් ඒ භික්‍ෂුවක් තෙම ‘මම මේ ශීලයෙන් හෝ, වෘත්තයෙන් හෝ, තපසින් හෝ, බ්‍රහ්මචර්‍ය්‍යාවෙන් හෝ දෙවියෙක් හෝ වන්නෙමි. දෙවියන්ගෙන් එක්තරා කෙනෙක් හෝ වන්නෙමි’ යි එක්තරා දිව්‍ය නිකායක් ප්‍රාර්ත්‍ථනාකොට බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි හැසිරෙයි. ඔහුගේ සිත කෙළෙස් තැවීම පිණිස, නැවත නැවත යෙදීම පිණිස. වීර්‍ය්‍ය කිරීම පිණිස නොනැමෙයි. යමෙකුගේ සිත කෙළෙස් තැවීම පිණිස, නැවත නැවත යෙදීම පිණිස. වීර්‍ය්‍ය කිරීම පිණිස නොනැමේද, මේ තෙම පස්වන සිතෙහි බැඳගැනීම වේ.
මහණෙනි, මේ සිතේ බැඳ ගැණීම් පසක් වෙත්.
207.
7. යාගුදානානිසංස සූත්‍රය
[සැවැත් නිදානයි]
7. “මහණෙනි, මේ කැඳෙහි අනුසස් පසක් වෙත්. කවර පසක්ද යත්?
බඩගින්න නසයි, පිපාසය දුරු කෙරයි, වාතය අනුලොම් කරයි, වස්තිය පිරිසිදු කෙරෙයි, අමුව ඉතිරි දෙය පැසවයි යන පසයි.
මහණෙනි, මේ පස වනාහි කැඳෙහි අනුසස් වෙත්ය” යි වදාළ සේක.
208.
8. දන්ත කට්ඨානිසංස සූත්‍රය
[සැවැත් නිදානයි]
8. “මහණෙනි, දැහැටි දඬු නොවැළඳීමෙහි මේ දෝෂ පසක් වෙත්. කවර පසක්ද යත්?
ඇස්වලට අහිතවේ. මුඛය දුර්ගන්‍ධවේ. රස නහර නොපිනවත්. පිතද සෙමද බත වැළඳ ගනිත්. බත මොහුට නොකැමැතිවේ යන පසයි.
මහණෙනි, දැහැටි දඬු නොවැළඳීමෙහි මේ දෝෂ පසක් වෙත්.
“මහණෙනි, දැහැටි දඬු වැළඳීමෙහි මේ අනුසස් පසක් වෙත්. කවර පසක්ද යත්?
ඇස්වලට හිතවේ. මුඛය දුර්ගන්‍ධ නොවේ. රස නහර පිනවත්. පිතද සෙමද බත නොවැළඳ ගනිත්. බත මොහුට රුචිවේ යන පසයි.
මහණෙනි, දැහැටි දඬු වැළඳීමෙහි මේ අනුසස් පසක් වෙත්.
209.
9. ගීතස්සර සූත්‍රය
[සැවැත් නිදානයි]
9. “මහණෙනි, දික්වූ ගීතිකා ස්වරයෙන් බණ කියන්නහුගේ මේ දෝෂ පසක් වෙත්. කවර පසක්ද යත්?
තෙමේද ඒ ස්වරයෙහි ඇලෙයි. අන්‍යයෝද ඒ ස්වරයෙහි ඇලෙත්. ගෘහපතීහුද, ‘යම් පරිද්දකින්ම අපි ගායනා කරමුද, එපරිද්දෙන්ම මේ ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ ගායනා කෙරෙත්ය’ යි හෙළා දකිත්. හඬනගා කීමද කැමතිවන්නහුගේ සමාධිය භංග වේ. පශ්චිම ජනතාව දෘෂ්ටානුගතියට පැමිණේ යන පසයි.
මහණෙනි, දික්වූ ගීතිකා ස්වරයෙන් බණ කියන්නහුගේ මේ දෝෂ පසක් වෙත්.
210.
10. නිද්දොක්කමන සූත්‍රය
[සැවැත් නිදානයි]
10. “මහණෙනි, මුළාවූ සිහි ඇතිව, මනා දැනීම නැතිව නින්දට බැසගන්නහුගේ මේ දෝෂ පසක් වෙත්. කවර පසක්ද යත්?
දුකසේ නිදයි. දුකසේ පිබිදෙයි. ලාමකවූ සිහින දකියි. දෙවියෝ නොරකිත්. අශූචි මෝචනය වේ, යන පසයි.
මහණෙනි, මුළාවූ සිහි ඇතිව, මනා දැනීම නැතිව නින්දට බැසගන්නහුගේ මේ දෝෂ පසක් වෙත්.
“මහණෙනි, එළඹ සිටි සිහි ඇතිව, මනා දැනුම් ඇතිව නින්දට බැසගන්නහුගේ මේ අනුසස් පසක් වෙත්. කවර පසක්ද යත්?
සුවසේ නිදයි. සුවසේ පිබිදෙයි. ලාමකවූ සිහින නොදකියි. දෙවියෝ රකිත්. අශූචි මෝචනය නොවේ, යන පසයි.
මහණෙනි, එළඹ සිටි සිහි ඇතිව, මනා දැනුම් ඇතිව නින්දට බැසගන්නහුගේ මේ අනුසස් පසක් වෙත්.
විසිඑක් වැනි කිම්බිල වර්‍ගය නිමි.
එහි උද්දානය:
කිම්බිල ද ධම්මසවණ ද ආජානීය ද බල ද ඛිල ද විනිබන්ධ ද යාගු ද දන්තකට්ඨ ද ගීත ද මුට්ඨස්සති යයි (මේ වගෙහි) සූත්‍ර දසයකි.