(21) 1. කිම්බිල වර්‍ගය
201.
1. කිම්බිල සූත්‍රය
[සැවැත් නිදානයි]
1. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ කිම්බිලා නම් නුවර මිදෙල්ල වනයෙහි වාසය කරණ සේක. එකල්හි වනාහි ආයුෂ්මත් කිම්බිල ස්ථවිර තෙම, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද. එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ. එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන්නාවූම ආයුෂ්මත් කිම්බිල ස්ථවිර තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය.
“ස්වාමීනි, යමකින් තථාගතයන් පිරිනිවි කල්හි සද්‍ධර්‍මය තෙම බොහෝකල් පැවැත්ම ඇත්තක් නොවේද? ඊට හේතු කවරේද? ප්‍රත්‍ය කවරේද?”
“කිම්බිලය, මේ ශාසනයෙහි තථාගතයන් පිරිනිවි කල්හි භික්‍ෂූහුද, භික්‍ෂුණීහුද, උපාසකයෝද, උපාසිකාවෝද ශාස්තෲන් කෙරෙහි ගෞරව නැත්තාහු, ආදර නැත්තාහු වාසය කෙරෙද්ද, ධර්‍මය කෙරෙහි ගෞරව නැත්තාහු, ආදර නැත්තාහු වාසය කෙරෙද්ද, සංඝයා කෙරෙහි ගෞරව නැත්තාහු, ආදර නැත්තාහු වාසය කෙරෙද්ද, ශික්‍ෂාව කෙරෙහි ගෞරව නැත්තාහු, ආදර නැත්තාහු වාසය කෙරෙද්ද, ඔවුනොවුන්ට ගෞරව නැත්තාහු, ආදර නැත්තාහු වාසය කෙරෙද්ද, කිම්බිලය, යමකින් තථාගතයන් පිරිනිවි කල්හි සද්‍ධර්‍මය තෙම බොහෝකල් පැවැත්ම ඇත්තේ නොවේද, මේ ඊට හේතුව වේ. මේ ඊට ප්‍රත්‍යය වේයයි වදාළ සේක.
“ස්වාමීනි, යමකින් තථාගතයන් පිරිනිවි කල්හි සද්‍ධර්‍මය තෙම බොහෝකල් පැවැත්ම ඇත්තේ වේද? ඊට හේතු කවරේද? ප්‍රත්‍ය කවරේද?”
“කිම්බිලය, මේ ශාසනයෙහි තථාගතයන් පිරිනිවි කල්හි භික්‍ෂූහුද, භික්‍ෂුණීහුද, උපාසකයෝද, උපාසිකාවෝද ශාස්තෲන් කෙරෙහි ගෞරව සහිත වූවාහු, ආදර සහිත වූවාහු වාසය කෙරෙද්ද, ධර්‍මය කෙරෙහි ගෞරව සහිතව, ආදර සහිතව, වාසය කෙරෙද්ද, සංඝයා කෙරෙහි ගෞරව සහිතව, ආදර සහිතව වාසය කෙරෙද්ද, ශික්‍ෂාව කෙරෙහි ගෞරව සහිතව, ආදර සහිතව, වාසය කෙරෙද්ද, ඔවුනොවුන්ට ගෞරව සහිතව, ආදර සහිතව, වාසය කෙරෙද්ද, කිම්බිලය, යමකින් තථාගතයන් පිරිනිවි කල්හි සද්‍ධර්‍මය තෙම බොහෝකල් පැවතුම් ඇත්තේ වේද, එයට මෙය වනාහි හේතුව වේ. මෙය ප්‍රත්‍යය වේය” යි වදාළ සේක.
202.
2. ධම්ම සවණානිසංස සූත්‍රය
[සැවැත් නිදානයි]
2. “මහණෙනි, ධර්ම ශ්‍රවණයෙහි මේ ආනිශංස පසක් වෙත්. කවර පසක්ද යත්?
නොඅසන ලද්ද අසයි, අසන ලද්ද පිරිසිදු කෙරෙයි, සැකය දුරු කෙරෙයි, දෘෂ්ටිය ඎජු කෙරෙයි, මොහුගේ සිත පහදියි. මහණෙනි, ධර්ම ශ්‍රවණයෙහි මේ ආනිශංස පසක් වෙත්.
203.
3. අස්සාජානීය සූත්‍රය
[සැවැත් නිදානයි]
3. “මහණෙනි, අඞ්ග පසකින් යුක්තවූ රජුගේ සොඳුරුවූ ආජානීය අශ්වතෙම රජුන්ට සුදුසුවේ. රජුන්ගේ පරිභෝගයට සුදුසු වේ. රජහුගේ අඞ්ගයකැයිම සංඛ්‍යාවට පැමිණේ. කවර පසකින්ද යත්?
ඍාජු බැවින්ද, ජවයෙන්ද, මෘදු බැවින්ද, ඉවසීමෙන්ද, කීකරු බැවින්ද යන පසිනි. මහණෙනි, අඞ්ග පසකින් යුක්තවූ රජුගේ සොඳුරුවූ ආජානීය අශ්වතෙම රජුන්ට සුදුසුවේ. රජුන්ගේ පරිභෝගයට සුදුසු වේ. රජහුගේ අඞ්ගයකැයිම සංඛ්‍යාවට පැමිණේ.
“මහණෙනි, මෙපරිද්දෙන්ම ධර්ම පසකින් යුක්තවූ භික්‍ෂුතෙම පූජාවට සුදුසු වේ. දුර සිට ගෙනෙන ලද සත්කාරයට සුදුසු වේ. දක්‍ෂිණාවට සුදුසු වේ. ඇඳිළි කිරීමට සුදුසු වේ. ලෝකයාගේ නිරුත්තරවූ පුණ්‍යක්‍ෂෙත්‍රය වේ. කවර පසකින්ද යත්?
ඎජු භාවයෙන්ද, ඥාන ජවයෙන්ද, මෘදු භාවයෙන්ද, ඉවසීමෙන්ද, පවිත්‍ර භාවයෙන්ද යන පසිනි. “මහණෙනි, මෙපරිද්දෙන්ම ධර්ම පසකින් යුක්තවූ භික්‍ෂුතෙම පූජාවට සුදුසු වේ. දුර සිට ගෙනෙන ලද සත්කාරයට සුදුසු වේ. දක්‍ෂිණාවට සුදුසු වේ. ඇඳිළි කිරීමට සුදුසු වේ. ලෝකයාගේ නිරුත්තරවූ පුණ්‍යක්‍ෂෙත්‍රය වේ.
204.
4. පඤ්චබල සූත්‍රය
[සැවැත් නිදානයි]
4. “මහණෙනි, මේ බල පසක් වෙත්. කවර පසක්ද යත්?
ශ්‍රද්‍ධා බලය, හිරි බලය, ඔත්තප්ප බලය, වීර්‍ය්‍ය බලය, ප්‍රඥා බලය යන පසයි. මහණෙනි, මොහු වනාහි බල පස වෙත්ය” යි වදාළ සේක.
205.
5. චෙතොඛිල සූත්‍රය
[සැවැත් නිදානයි]
5. “මහණෙනි, මේ සිතේ තද බැව් පසක් වෙත්. කවර පසක්ද යත්?
මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම ශාස්තෲන් කෙරෙහි සැක කරයි. සොයමින් වෙහෙසෙයි. අදහසට නොපැමිණෙයි. නොපහදියි. යම් ඒ භික්‍ෂුවක් තෙම ශාස්තෲන් කෙරෙහි සැක කරයි. සොයමින් වෙහෙසෙයි. අදහසට නොපැමිණෙයි. නොපහදියි. ඔහුගේ සිත කෙළෙස් තැවීම පිණිස, නැවත නැවත යෙදීම පිණිස, සතතයෙන් කිරීම පිණිස, වීර්‍ය්‍ය කිරීම පිණිස නොනැමෙයි. යමෙකුගේ සිත නොනැමේද, මේ පළමුවන චෙතොඛීලය හෙවත් සිතේ තද බව වේ.
“මහණෙනි, නැවත අනිකක්ද කියමි. භික්‍ෂු තෙම ධර්‍මයෙහි සැක කරයි. සොයමින් වෙහෙසෙයි. අදහසට නොපැමිණෙයි. නොපහදියි. සංඝයා කෙරෙහි සැක කරයි. සොයමින් වෙහෙසෙයි. අදහසට නොපැමිණෙයි. නොපහදියි. ශික්‍ෂාව කෙරෙහි සැක කරයි. සොයමින් වෙහෙසෙයි. අදහසට නොපැමිණෙයි. නොපහදියි. සබ්‍රම්සරුන් කෙරෙහි කිපියේ, නොසතුටු සිත් ඇත්තේ, ගැටුනාවූ සිත් ඇත්තේ, හටගත් තද බැව් ඇත්තේ වේ. මහණෙනි, යම් ඒ භික්‍ෂුවක් තෙම සබ්‍රම්සරුන් කෙරෙහි කිපුනේ, නොසතුටු සිත් ඇත්තේ, ගැටුනු සිත් ඇත්තේ, හටගත් තද බැව් ඇත්තේ වේද. ඔහුගේ සිත කෙළෙස් තැවීම පිණිස, නැවත නැවත යෙදීම පිණිස, සතතයෙන් කිරීම පිණිස, වීර්‍ය්‍ය කිරීම පිණිස නොනැමෙයි. යමෙකුගේ සිත කෙළෙස් තැවීම පිණිස, නැවත නැවත යෙදීම පිණිස, සතතයෙන් කිරීම පිණිස, වීර්‍ය්‍යය කිරීම පිණිස නොනැමේද, මේ පස්වන චෙතොඛීලය හෙවත් සිතේ තද බව වේ.
මහණෙනි, මේ සිතේ තද බැව් පසක් වෙත්.