207.
7. යාගුදානානිසංස සූත්රය
[සැවැත් නිදානයි]
7. “මහණෙනි, මේ කැඳෙහි අනුසස් පසක් වෙත්. කවර පසක්ද යත්?
බඩගින්න නසයි, පිපාසය දුරු කෙරයි, වාතය අනුලොම් කරයි, වස්තිය පිරිසිදු කෙරෙයි, අමුව ඉතිරි දෙය පැසවයි යන පසයි.
මහණෙනි, මේ පස වනාහි කැඳෙහි අනුසස් වෙත්ය” යි වදාළ සේක.
208.
8. දන්ත කට්ඨානිසංස සූත්රය
[සැවැත් නිදානයි]
8. “මහණෙනි, දැහැටි දඬු නොවැළඳීමෙහි මේ දෝෂ පසක් වෙත්. කවර පසක්ද යත්?
ඇස්වලට අහිතවේ. මුඛය දුර්ගන්ධවේ. රස නහර නොපිනවත්. පිතද සෙමද බත වැළඳ ගනිත්. බත මොහුට නොකැමැතිවේ යන පසයි.
මහණෙනි, දැහැටි දඬු නොවැළඳීමෙහි මේ දෝෂ පසක් වෙත්.
“මහණෙනි, දැහැටි දඬු වැළඳීමෙහි මේ අනුසස් පසක් වෙත්. කවර පසක්ද යත්?
ඇස්වලට හිතවේ. මුඛය දුර්ගන්ධ නොවේ. රස නහර පිනවත්. පිතද සෙමද බත නොවැළඳ ගනිත්. බත මොහුට රුචිවේ යන පසයි.
මහණෙනි, දැහැටි දඬු වැළඳීමෙහි මේ අනුසස් පසක් වෙත්.
209.
9. ගීතස්සර සූත්රය
[සැවැත් නිදානයි]
9. “මහණෙනි, දික්වූ ගීතිකා ස්වරයෙන් බණ කියන්නහුගේ මේ දෝෂ පසක් වෙත්. කවර පසක්ද යත්?
තෙමේද ඒ ස්වරයෙහි ඇලෙයි. අන්යයෝද ඒ ස්වරයෙහි ඇලෙත්. ගෘහපතීහුද, ‘යම් පරිද්දකින්ම අපි ගායනා කරමුද, එපරිද්දෙන්ම මේ ශ්රමණ ශාක්ය පුත්රයෝ ගායනා කෙරෙත්ය’ යි හෙළා දකිත්. හඬනගා කීමද කැමතිවන්නහුගේ සමාධිය භංග වේ. පශ්චිම ජනතාව දෘෂ්ටානුගතියට පැමිණේ යන පසයි.
මහණෙනි, දික්වූ ගීතිකා ස්වරයෙන් බණ කියන්නහුගේ මේ දෝෂ පසක් වෙත්.
210.
10. නිද්දොක්කමන සූත්රය
[සැවැත් නිදානයි]
10. “මහණෙනි, මුළාවූ සිහි ඇතිව, මනා දැනීම නැතිව නින්දට බැසගන්නහුගේ මේ දෝෂ පසක් වෙත්. කවර පසක්ද යත්?
දුකසේ නිදයි. දුකසේ පිබිදෙයි. ලාමකවූ සිහින දකියි. දෙවියෝ නොරකිත්. අශූචි මෝචනය වේ, යන පසයි.
මහණෙනි, මුළාවූ සිහි ඇතිව, මනා දැනීම නැතිව නින්දට බැසගන්නහුගේ මේ දෝෂ පසක් වෙත්.
“මහණෙනි, එළඹ සිටි සිහි ඇතිව, මනා දැනුම් ඇතිව නින්දට බැසගන්නහුගේ මේ අනුසස් පසක් වෙත්. කවර පසක්ද යත්?
සුවසේ නිදයි. සුවසේ පිබිදෙයි. ලාමකවූ සිහින නොදකියි. දෙවියෝ රකිත්. අශූචි මෝචනය නොවේ, යන පසයි.
මහණෙනි, එළඹ සිටි සිහි ඇතිව, මනා දැනුම් ඇතිව නින්දට බැසගන්නහුගේ මේ අනුසස් පසක් වෙත්.
විසිඑක් වැනි කිම්බිල වර්ගය නිමි.
එහි උද්දානය:
කිම්බිල ද ධම්මසවණ ද ආජානීය ද බල ද ඛිල ද විනිබන්ධ ද යාගු ද දන්තකට්ඨ ද ගීත ද මුට්ඨස්සති යයි (මේ වගෙහි) සූත්ර දසයකි.