5. 3. 4. 6.
6. ඔපරජ්ජපත්ථනා සූත්රය
[සැවැත් නුවර නිදානයි]
136. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ මසතකයෙහි අභිෂේක කරණ ලද ක්ෂත්රිය රජහුගේ වැඩිමහළු පුත්ර තෙම යුව රජ බව පතයි. කවර පසකින්ද යත්:
මහණෙනි, මේ ලෝකයෙහි මස්තකයෙහි අභිෂේක කරණ ලද්දාවූ ක්ෂත්රිය රජහුගේ වැඩිමහළු පුත්ර තෙම මව් පසින්ද, පිය පසින්ද, යන දෙපසින් මනාව උපන්නේ වේද, පිරිසිදු පිළිසිඳගැනීම් ඇත්තේද, සත්වෙනි පියමුතු පරම්පරාව දක්වා බැහැර නොකරණ ලද්දේ, ජාතිවාදයෙන් නින්දා නොකරණ ලද්දේ වේද, විශිෂ්ට රූ ඇත්තේ, දැකුම් කටයුතු වූයේ, ප්රසාද එලවන්නේ, උතුම්වූ වර්ණ සෞන්දර්ය්යයෙන් යුක්ත වේද, මව්පියන්ට ප්රියයෙක් මනාපයෙක් වේද, බල සෙනගට ප්රිය වූවෙක්, මන වඩන්නෙක් වේද, පණ්ඩිතවූයේ, ව්යක්තවූයේ, නුවණැත්තේ, ඉකුත්වූ, පැමිණෙන්නාවූ, පවත්නාවූ, අර්ත්ථයන් සිතන්ට සමර්ත්ථ වේද,
ඔහුට මෙබඳු සිතක් වෙයි. ‘මම වනාහි මව් පසින්ද, පිය පසින්ද, යන දෙපසින් මනාව උපන්නේ වේද, පිරිසිදු පිළිසිඳගැනීම් ඇත්තේද, සත්වෙනි පියමුතු පරම්පරාව දක්වා බැහැර නොකරණ ලද්දේ, ජාතිවාදයෙන් නින්දා නොකරණ ලද්දේ වේද, කුමක් හෙයින් මම යුවරජ බැව් නොපතන්නෙම්ද’ මම වනාහි විශිෂ්ට රූ ඇත්තේ, දැකුම් කටයුතු වූයේ, ප්රසාද එලවන්නේ, උතුම්වූ වර්ණ සෞන්දර්ය්යයෙන් යුක්ත වේද, කුමක් හෙයින් මම යුවරජ බැව් නොපතන්නෙම්ද. මම වනාහි මව් පියන්ට ප්රියවූවෙක් මන වඩන්නෙක් වෙමි. කුමක් හෙයින් මම යුවරජ බැව් නොපතන්නෙම්ද? මම වනාහි බල සෙනගට ප්රියවූවෙක් මන වඩන්නෙක් වෙමි. කුමක් හෙයින් මම යුවරජ බැව් නොපතන්නෙම්ද? මම වනාහි පණ්ඩිතවූයේ, ව්යක්තවූයේ, නුවණැත්තේ, ඉකුත්වූ, පැමිණෙන්නාවූ, පවත්නාවූ අර්ත්ථයන් සිතන්ට සමර්ත්ථ වෙමි. කුමක් හෙයින් මම යුවරජ බැව් නොපතන්නෙම්දැයි යන පසිනි.
මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ මස්තකයෙහි අභිෂේක කරණ ලද ක්ෂත්රිය රජහුගේ වැඩිමහළු පුත්ර තෙම යුව රජ බැව් පතයි.
මහණෙනි, මෙපරිද්දෙන් ධර්ම පසකින් යුක්තවූ භික්ෂු තෙම ආශ්රවයන් නැසීම පතයි. කවර පසකින්ද යත්:
මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂු තෙම සිල්වත් වේද, ප්රතිමොක්ෂ සංවර ශීලයෙන් සංවරවූයේ, ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තවූයේ වාසය කෙරේද, ස්වල්ප තරම් වරදවල භය දක්නා ස්වභාව ඇතිවූයේ ශික්ෂා පදයන්හි සමාදන්ව හික්මේද, බහුශ්රුතවූයේ, ඇසූ දෙය දරන්නේ, අසන ලද්දවුන්ගේ රැස් කිරීම් ඇත්තේ වේද, මුල යහපත්වූ, මැද යහපත්වූ, කෙළවර යහපත්වූ, අර්ත්ථ සහිතවූ, ව්යඤ්ජන සහිතවූ, යම් ඒ ධර්මයෝ සියල්ලෙන් සම්පූර්ණවූ, පිරිසිදුවූ බ්රහ්මචර්ය්යාව ප්රකාශ කෙරෙද්ද, එබඳුවූ ධර්මයෝ මොහු විසින් බොහෝකොට අසන ලද්දාහු, දරණ ලද්දාහු, වචනයෙන් පුරුදු කරණ ලද්දාහු, සිතින් සළකන ලද්දාහු, දාෂ්ටියෙන් මනාව ප්රතිවේධ කරණ ලද්දාහු වෙද්ද, සතර සතිපට්ඨානයන්හි මනාව පිහිටුවන ලද සිත් ඇත්තේ වේද, පටන් ගන්නා ලද වීර්ය්යය ඇත්තේ, අකුශල ධර්මයන් දුරු කිරීම පිණිසද, කුශල ධර්මයන් වැඩීම පිණිසද, ශක්ති ඇත්තේ, දැඩි උත්සාහ ඇත්තේ, කුශල ධර්මයන්හි බහා නොතබන ලද බර ඇතිව වාසය කෙරේද, ප්රඥා ඇත්තේ, ආර්ය්යවූ, කෙලෙස් බිඳින්නාවූ, මනාකොට දුක් නැතිකිරීම පිණිස පවත්නාවූ, ඇතිවීම, නැතිවීම දැනගන්නා ප්රඥාවෙන් යුක්තවේද,
ඔහුට මෙබඳු සිතක් වෙයි. ‘මම වනාහි සිල්වත්වූයේද, ප්රාතිමෝක්ෂ සංවර ශීලයෙන් යුක්තවූයේ වේද, ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තව වාසය කෙරේද, ස්වල්ප තරම් වරදවල භය දක්නාසුළු වූයේ, ශික්ෂා පදයන්හි සමාදන්ව හික්මේද, කුමක් හෙයින් මම ආශ්රවයන් නැසීම නොපතන්නෙම්ද? මම වනාහි බහුශ්රුතවූයේ, ඇසූ දෙය දරන්නේ, අසන ලද්දවුන්ගේ රැස් කිරීම් ඇත්තේ වේද, යම් ඒ ධර්මයෝ මුල යහපත්වූවාහු, මැද යහපත්වූවාහු, කෙළවර යහපත්වූවාහු, අර්ත්ථ සහිත වූවාහු, ව්යඤ්ජන සහිත වූවාහු, සියල්ලෙන් සම්පූර්ණවූ පිරිසිදුවූ බ්රහ්මචර්ය්යාව ප්රකාශ කෙරෙද්ද, එබඳුවූ ධර්මයෝ මොහු විසින් බොහෝකොට අසන ලද්දාහු, දරණ ලද්දාහු, වචනයෙන් පුරුදු කරණ ලද්දාහු, සිතින් සලකන ලද්දාහු, දෘෂ්ටියෙන් මනාව ප්රතිවේධ කරණ ලද්දාහු වෙද්ද, කුමක් හෙයින් මම ආශ්රවයන් නැසීම නොපතන්නෙම්ද? මම වනාහි සතර සතිපට්ඨානයන්හි මනාව පිහිටුවන ලද සිත් ඇත්තේ වෙමි. කුමක් හෙයින් මම ආශ්රවයන් නැසීම නොපතන්නෙම්ද? මම වනාහි පටන් ගන්නා ලද වීර්ය්යය ඇත්තේ, අකුශල ධර්මයන් දුරු කිරීම පිණිසද, කුශල ධර්මයන් වැඩීම පිණිසද, ශක්ති ඇත්තේ, දැඩි උත්සාහ ඇත්තේ, කුශල ධර්මයන්හි බහා නොතබන ලද බර ඇතිව වාසය කෙරේද, කුමක් හෙයින් මම ආශ්රවයන් නැසීම නොපතන්නෙම්ද? මම වනාහි ප්රඥා ඇත්තේ, ආර්ය්යවූ, කෙලෙස් බිඳින්නාවූ, මනාකොට දුක් නැතිකිරීම පිණිස පවත්නාවූ, ඇතිවීම, නැතිවීම දැනගන්නා ප්රඥාවෙන් යුක්තවෙමි. කුමක් හෙයින් මම ආශ්රවයන් නැසීම නොපතන්නෙම්දැයි යන පසිනි.
මහණෙනි, මෙපරිද්දෙන් ධර්ම පසකින් යුක්තවූ භික්ෂු තෙම ආශ්රවයන් නැසීම පතයි.
5. 3. 4. 7.
අප්පසුපන සූත්රය
සැවැත්නුවර නිදානයි
37. මහණෙනි, මොහු පස් දෙනෙක් රාත්රියෙහි ස්වල්පකොට නිදත්. බොහෝකොට නොනිදත්. කවර පස් දෙනෙක්ද යත්:
මහණෙනි, පුරුෂයන් කෙරෙහි අදහස් ඇති ස්ත්රී තොමෝ රාත්රියෙහි ස්වල්පකොට නිදයි. බොහෝකොට නොනිදයි. මහණෙනි, ස්ත්රීන් කෙරෙහි අදහස් ඇති පුරුෂ තෙම රාත්රියෙහි ස්වල්පකොට නිදයි. බොහෝකොට නොනිදයි. මහණෙනි, ගැනීමෙහි අදහස් ඇති චෞර තෙම රාත්රියෙහි ස්වල්පකොට නිදයි. බොහෝකොට නොනිදයි. මහණෙනි, රජයෙහි කටයුතුවල යෙදුනාවූ රජතෙම රාත්රියෙහි ස්වල්පකොට නිදයි. බොහෝකොට නොනිදයි. මහණෙනි, විසංයෝගයෙහි හෙවත් නිවණෙහි අදහස් ඇත්තාවූ භික්ෂු තෙම රාත්රියෙහි ස්වල්පකොට නිදයි. බොහෝකොට නොනිදයි.
මහණෙනි, මොහු පස් දෙනෙක් රාත්රියෙහි ස්වල්පකොට නිදත්. බොහෝකොට නොනිදත්.
5. 3. 4. 8.
භත්තාදක සූත්රය
සැවැත්නුවර නිදානයි
38. මහණෙනි, කරුණු පසකින් යුක්තවූ රජහුගේ හස්ති තෙම බත් අනුභව කරන්නෙක්ද, අවකාශය පතුරුවන්නෙක්ද, ලඬ හෙළන්නෙක්ද, සළාක ගන්නෙක්ද වේ. රජහුගේ හස්තියාය කියාම සංඛ්යාවට පැමිණේ. කවර පසකින්ද යත්: මහණෙනි, මේ ලෝකයෙහි රජහුගේ හස්ති තෙම