4. රාජ වර්ගය
5. 3. 4. 1.
1. චක්කවත්තන සූත්රය
[සැවැත් නුවර නිදානයි]
131. “මහණෙනි, අඞ්ග පසකින් යුක්තවූ සක්විති රජ තෙම දැහැමින්ම අණසක පවත්වයි. ඒ අණසක මනුෂ්යවූ සතුරවූ කිසියම් ප්රාණියකු විසින් නොපැවැත්විය හැකිවේ. කවර පසකින්ද යත්:
මහණෙනි, මේ ලෝකයෙහි සක්විති රජ තෙම අර්ත්ථය දන්නේත් වේද, ධර්මය දන්නේත් වේද, පමණ දන්නේත් වේද, කල් දන්නේත් වේද, පිරිස් දන්නේත් වේද, යන පසිනි.
මහණෙනි, අඞ්ග පසකින් යුක්තවූ සක්විති රජ තෙම දැහැමින්ම අණසක පවත්වයි. ඒ අණසක මනුෂ්යවූ සතුරවූ කිසියම් ප්රාණියකු විසින් නොපැවැත්විය හැකිවේ.
මහණෙනි, මෙපරිද්දෙන්ම පඤ්ච ධර්මයකින් යුක්තවූ, අර්හත් සම්යක් සම්බුද්ධවූ තථාගත තෙම දැහැමින්ම නිරුත්තරවූ ධර්ම චක්රය පවත්වයි. ඒ ධර්ම චක්රය ශ්රමණයෙකු විසින් හෝ, බ්රාහ්මණයෙකු විසින් හෝ, දෙවියෙකු විසින් හෝ, මාරයෙකු විසින් හෝ, බ්රහ්මයෙකු විසින් හෝ, ලෝකයෙහි කිසිවෙකු විසිනුත් නොපැවැත්විය හැකිවේ. කවර පසකින්ද යත්:
මහණෙනි, මේ ශාසනයෙහි අර්හත් සම්යක් සම්බුද්ධවූ තථාගත තෙම අර්ත්ථය දන්නේත් වේද, ධර්මය දන්නේත් වේද, පමණ දන්නේත් වේද, කල් දන්නේත් වේද, පිරිස් දන්නේත් වේද, යන පසිනි.
මහණෙනි, මෙපරිද්දෙන්ම පඤ්ච ධර්මයකින් යුක්තවූ, අර්හත් සම්යක් සම්බුද්ධවූ තථාගත තෙම දැහැමින්ම නිරුත්තරවූ ධර්ම චක්රය පවත්වයි. ඒ ධර්ම චක්රය ශ්රමණයෙකු විසින් හෝ, බ්රාහ්මණයෙකු විසින් හෝ, දෙවියෙකු විසින් හෝ, මාරයෙකු විසින් හෝ, බ්රහ්මයෙකු විසින් හෝ, ලෝකයෙහි කිසිවෙකු විසිනුත් නොපැවැත්විය හැකිවේ.
5. 3. 4. 2.
2. චක්කානුවත්තන සූත්රය
[සැවැත් නුවර නිදානයි]
132. “මහණෙනි, අඞ්ග පසකින් යුක්තවූ සක්විති රජහුගේ වැඩිමහළු පුත්ර තෙම පියා විසින් පවත්වන ලද අණසක දැහැමින්ම අනුව පවත්වයි. ඒ අණසක කිසියම් මනුෂ්යවූ, සතුරුවූ ප්රාණියෙකු විසින් නොපැවැත්විය හැක්කේ වෙයි. කවර පසකින්ද යත්:
මහණෙනි, මේ ලෝකයෙහි සක්විති රජහුගේ වැඩිමහළු පුත්ර තෙම අර්ත්ථය දන්නේත් වේද, ධර්මය දන්නේත් වේද, පමණ දන්නේත් වේද, කල් දන්නේත් වේද, පිරිස් දන්නේත් වේද, යන පසිනි.
මහණෙනි, අඞ්ග පසකින් යුක්තවූ සක්විති රජහුගේ වැඩිමහළු පුත්ර තෙම පියා විසින් පවත්වන ලද අණසක දැහැමින්ම අනුව පවත්වයි. ඒ අණසක කිසියම් මනුෂ්යවූ, සතුරුවූ ප්රාණියෙකු විසින් නොපැවැත්විය හැක්කේ වෙයි.
මහණෙනි, මෙපරිද්දෙන්ම කරුණු පසකින් යුක්තවූ, ශාරීපුත්ර තෙමේ වනාහි තථාගතයන් විසින් පවත්වන ලද නිරුත්තරවූ ධර්ම චක්රය මනාකොටම අනුව පවත්වයි. ඒ ධර්ම චක්රය ශ්රමණයෙකු විසින් හෝ, බ්රාහ්මණයෙකු විසින් හෝ, දෙවියෙකු විසින් හෝ, මාරයෙකු විසින් හෝ, බ්රහ්මයෙකු විසින් හෝ, ලෝකයෙහි කිසිවෙකු විසිනුත් නොපැවැත්විය හැකිවේ. කවර පසකින්ද යත්:
මහණෙනි, මේ ශාසනයෙහි ශාරීපුත්ර තෙම අර්ත්ථය දන්නේත් වේද, ධර්මය දන්නේත් වේද, පමණ දන්නේත් වේද, කල් දන්නේත් වේද, පිරිස් දන්නේත් වේද, යන පසිනි.
මහණෙනි, මෙපරිද්දෙන්ම කරුණු පසකින් යුක්තවූ, ශාරීපුත්ර තෙමේ වනාහි තථාගතයන් විසින් පවත්වන ලද නිරුත්තරවූ ධර්ම චක්රය මනාකොටම අනුව පවත්වයි. ඒ ධර්ම චක්රය ශ්රමණයෙකු විසින් හෝ, බ්රාහ්මණයෙකු විසින් හෝ, දෙවියෙකු විසින් හෝ, මාරයෙකු විසින් හෝ, බ්රහ්මයෙකු විසින් හෝ, ලෝකයෙහි කිසිවෙකු විසිනුත් නොපැවැත්විය හැකිවේ.
5. 3. 4. 3.
3. අරාජක චක්ක සූත්රය
[සැවැත් නුවර නිදානයි]
133. “මහණෙනි, ධාර්මිකවූ, ධර්මරාජන්වූ යම් සක්විති රජෙකුත් වේද, හෙතෙමේද රජෙක් නැත්තාවූ අණසක නොපවත්වාය” යි වදාළ සේක. මෙසේ වදාළ කල්හි එක්තරා භික්ෂුවක් තෙම භාග්යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. “ස්වාමීනි, ධාර්මිකවූ, ධර්මරාජන්වූ සක්විති රජහට කවරෙක් නම් රජ වේද?” “මහණ, ධර්මයයි” භාග්යවතුන් වහන්සේ වදාළ සේක.
මහණ, මේ ලෝකයෙහි ධාර්මිකවූ, ධර්මරාජන්වූ සක්විති රජ තෙම ධර්මයම නිසා ධර්මයට සත්කාර කරන්නේ, ධර්මයට ගෞරව කරන්නේ, ධර්මයට පුදන්නේ, ධර්මය ධ්වජ කොට ඇත්තේ, ධර්මය කෙහෙළි කොට ඇත්තේ, ධර්මය අධිපති කොට ඇත්තේ, ඇතුළත ජනයා කෙරෙහි ධාර්මිකවූ ආරක්ෂාවරණ ගෝපනය මොනවට විධාන කරයි.
මහණෙනි, නැවත අනිකක්ද කියමි. ධර්මයම නිසා ධර්මයට සත්කාර කරන්නේ, ධර්මයට ගෞරව කරන්නේ, ධර්මයට පුදන්නේ, ධර්මය ධ්වජ කොට ඇත්තේ, ධර්මය කෙහෙළි කොට ඇත්තේ, ධර්මය අධිපති කොට ඇත්තේ, ධාර්මිකවූ ආරක්ෂාවරණ ගෝපනය ක්ෂත්රියයන් කෙරෙහිද, අනුව යෙදුනවුන් කෙරෙහිද, බල සෙනග කෙරෙහිද, බමුණු ගැහැවියන් කෙරෙහිද, නියම් ගම් දනව් වැස්සන් කෙරෙහිද, මහණ බමුණන් කෙරෙහිද, මෘග පක්ෂීන් කෙරෙහිද මනාකොට විධාන කරයි.
මහණ, මේ ධාර්මිකවූ, ධර්මරාජන්වූ, සක්විති රජ තෙමේ වනාහි ධර්මයම නිසා ධර්මයට සත්කාර කරන්නේ, ධර්මයට ගෞරව කරන්නේ, ධර්මයට පුදන්නේ, ධර්මය ධ්වජ කොට ඇත්තේ, ධර්මය කෙහෙළි කොට ඇත්තේ, ධර්මය අධිපති කොට ඇත්තේ, ධාර්මිකවූ රක්ෂාවරණ ගෝපනය ඇතුළත ජනයා කෙරෙහි සංවිධානය කොට ධාර්මිකවූ රක්ෂාවරණ ගෝපනය ඇතුළත ජනයා කෙරෙහි ධාර්මිකවූ ආරක්ෂාවරණ ගෝපනය මොනවට විධාන කරයි. දැහැමින් අණසක පවත්වයි. ඒ අණසක කිසියම් මනුෂ්යවූ, පසමිතුරුවූ, ප්රාණියෙකු විසින් නොපැවැත්විය හැකිවේ.