5. 3. 4. 7.
අප්පසුපන සූත්රය
සැවැත්නුවර නිදානයි
37. මහණෙනි, මොහු පස් දෙනෙක් රාත්රියෙහි ස්වල්පකොට නිදත්. බොහෝකොට නොනිදත්. කවර පස් දෙනෙක්ද යත්:
මහණෙනි, පුරුෂයන් කෙරෙහි අදහස් ඇති ස්ත්රී තොමෝ රාත්රියෙහි ස්වල්පකොට නිදයි. බොහෝකොට නොනිදයි. මහණෙනි, ස්ත්රීන් කෙරෙහි අදහස් ඇති පුරුෂ තෙම රාත්රියෙහි ස්වල්පකොට නිදයි. බොහෝකොට නොනිදයි. මහණෙනි, ගැනීමෙහි අදහස් ඇති චෞර තෙම රාත්රියෙහි ස්වල්පකොට නිදයි. බොහෝකොට නොනිදයි. මහණෙනි, රජයෙහි කටයුතුවල යෙදුනාවූ රජතෙම රාත්රියෙහි ස්වල්පකොට නිදයි. බොහෝකොට නොනිදයි. මහණෙනි, විසංයෝගයෙහි හෙවත් නිවණෙහි අදහස් ඇත්තාවූ භික්ෂු තෙම රාත්රියෙහි ස්වල්පකොට නිදයි. බොහෝකොට නොනිදයි.
මහණෙනි, මොහු පස් දෙනෙක් රාත්රියෙහි ස්වල්පකොට නිදත්. බොහෝකොට නොනිදත්.
5. 3. 4. 8.
භත්තාදක සූත්රය
සැවැත්නුවර නිදානයි
38. මහණෙනි, කරුණු පසකින් යුක්තවූ රජහුගේ හස්ති තෙම බත් අනුභව කරන්නෙක්ද, අවකාශය පතුරුවන්නෙක්ද, ලඬ හෙළන්නෙක්ද, සළාක ගන්නෙක්ද වේ. රජහුගේ හස්තියාය කියාම සංඛ්යාවට පැමිණේ. කවර පසකින්ද යත්: මහණෙනි, මේ ලෝකයෙහි රජහුගේ හස්ති තෙම
රූපයන් නොඉවසන්නේ වේද, ශබ්දයන් නොඉවසන්නේ වේද, ගන්ධයන් නොඉවසන්නේ වේද, රසයන් නොඉවසන්නේ වේද, ස්පර්ශ කළයුත්තන් නොඉවසන්නේ වේද යන පසිනි.
මහණෙනි, කරුණු පසකින් යුක්තවූ රජහුගේ හස්ති තෙම බත් අනුභව කරන්නෙක්ද, අවකාශය පතුරුවන්නෙක්ද, ලඬ හෙළන්නෙක්ද, සළාක ගන්නෙක්ද වේ. රජහුගේ හස්තියාය කියාම සංඛ්යාවට පැමිණේ.
මහණෙනි, මෙපරිද් දෙන්ම කරුණු පසකින් යුක්තවූ භික්ෂු තෙම බත් අනුභව කරන්නෙක්ද, අවකාශය පතුරුවන්නෙක්ද, පුටුව මඩින්නෙක්ද, සළාක කන්නෙක්ද වේ. භික්ෂුය කියාම සංඛ්යාවට පැමිණේ. කවර පසකින්ද යත්:
මහණෙනි, මේ ශාසනයෙහි භික්ෂු තෙම රූපයන් නොඉවසන්නේ වේද, ශබ්දයන් නොඉවසන්නේ වේද, ගන්ධයන් නොඉවසන්නේ වේද, රසයන් නොඉවසන්නේ වේද, ස්පර්ශ කළයුත්තන් නොඉවසන්නේ වේද යන පසිනි.
මහණෙනි, මෙපරිද්දෙන්ම කරුණු පසකින් යුක්තවූ භික්ෂු තෙම බත් අනුභව කරන්නෙක්ද, අවකාශය පතුරුවන්නෙක්ද, පුටුව මඩින්නෙක්ද, සළාක කන්නෙක්ද වේ. භික්ෂුය කියාම සංඛ්යාවට පැමිණේ.
5. 3. 4. 9.
අක්ඛම සූත්රය
සැවැත්නුවර නිදානයි
39. මහණෙනි, කරුණු පසකින් යුක්තවූ රජුගේ හස්ති තෙම රජුන්ට සුදුසු නොවෙයි. රජුන් විසින් පරිභෝග කටයුතු නොවෙයි. රජහුගේ අවයවයක්ය කියාම සංඛ්යාවට නොපැමිණේ. කවර පසකින්ද යත්: මහණෙනි, මේ ලෝකයෙහි රජහුගේ හස්ති තෙම
රූපයන් නොඉවසන්නේ වේද, ශබ්දයන් නොඉවසන්නේ වේද, ගන්ධයන් නොඉවසන්නේ වේද, රසයන් නොඉවසන්නේ වේද, ස්පර්ශ කළයුත්තන් නොඉවසන්නේ වේද යන පසිනි.
මහණෙනි, කෙසේනම් රජහුගේ හස්ති තෙම රූපයන් නොඉවසන්නේ වේද? මහණෙනි, මෙහි රජහුගේ හස්ති තෙම යුද්ධයට පැමිණියේ, හස්ති සේනාව හෝ දැක, අශ්ව සේනාව හෝ දැක, රථ සේනාව හෝ දැක, පාබල සේනාව හෝ දැක, පසුබසියිද, විශේෂයෙන් ගැලෙයිද, ස්ථිරව නොසිටියිද. යුද්ධයට බැසගන්ට නොහැකිවේද, මහණෙනි, මෙසේ වනාහි රජහුගේ හස්තිතෙම රූපයන් නොඉවසන්නේ වේ.
මහණෙනි, කෙසේනම් රජහුගේ හස්ති තෙම ශබ්දයන් නොඉසන්නේ වේද? මහණෙනි, මෙහි රජහුගේ හස්ති තෙම යුද්ධයට පැමිණියේ ඇතුන්ගේ ශබ්දයක් හෝ අසා අසුන්ගේ ශබ්දයක් හෝ අසා, රථයන්ගේ ශබ්දයක් හෝ අසා, පාබල සේනාවගේ ශබ්දයක් හෝ අසා, බෙර, පනාබෙර, සක්, සින්නය නාදයක් හෝ අසා, පසුබසියිද, විශේෂයෙන් ගැලෙයිද, ස්ථිරව නොසිටියිද. යුද්ධයට බැසගන්ට නොහැකිවේද. මහණෙනි, මෙසේ වනාහි රජහුගේ හස්ති තෙම ශබ්දයන් නොඉවසන්නේ වේ.
මහණෙනි, කෙසේ නම් රජහුගේ හස්ති තෙම ගන්ධයන් නොඉවසන්නේ වේද? මහණෙනි, මෙහි රජහුගේ හස්ති තෙම යුද්ධයට පැමිණියේ, මනාව උපන්නාවූ යුද්ධ භූමියෙහි හැසිරෙන්නාවූ යම් ඒ රජහුගේ හස්තීහු වෙද්ද, ඔවුන්ගේ මල, මූත්ර ගඳ ආඝ්රාණය කොට පසුබසියිද, විශේෂයෙන් ගැලෙයිද, ස්ථිරව නොසිටියිද. යුද්ධයට බැසගන්ට නොහැකිවේද. මහණෙනි, මෙසේ වනාහි රජහුගේ හස්ති තෙම ගන්ධයන් නොඉවසන්නේ වේ.