5. 2. 4. 4.
අස්සද්ධ සූත්‍රය
සැවැත් නුවර නිදානයි
34. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ස්ථවිර භික්‍ෂු තෙම බ්‍රහ්මචාරීන්ට අප්‍රියයෙක්ද, අමනාපවූවෙක්ද, ගරු නොකටයුත්තෙක්ද, බුහුමන් නොකටයුත්තෙක්ද වේ. කවර පසකින්ද යත්,
ශ්‍රද්‍ධාව නැත්තේ වේද, පවට ලජ්ජා නැත්තේ වේද, පවට භය නැත්තේ වේද, අලස වූයේ වේද, ප්‍රඥා නැත්තේ වේද, යන පසිනි. මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ස්ථවිර භික්‍ෂු තෙම බ්‍රහ්මචාරීන්ට අප්‍රියයෙක්ද, අමනාපවූවෙක්ද, ගරු නොකටයුත්තෙක්ද, බුහුමන් නොකටයුත්තෙක්ද වේ.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ස්ථවිර භික්‍ෂු තෙම බ්‍රහ්මචාරීන්ට ප්‍රියවූවෙක්ද, මනාපවූවෙක්ද, ගරු කටයුත්තෙක්ද, බුහුමන් කටයුත්තෙක්ද වේ. කවර පසකින්ද යත්,
ශ්‍රද්‍ධාව ඇත්තේ වේද, පවට ලජ්ජා ඇත්තේ වේද, පවට භය ඇත්තේ වේද, පටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇත්තේ වේද, ප්‍රඥා ඇත්තේ වේද, යන පසිනි. මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ස්ථවිර භික්‍ෂු තෙම බ්‍රහ්මචාරීන්ට ප්‍රියවූවෙක්ද, මනාපවූවෙක්ද, ගරු කටයුත්තෙක්ද, බුහුමන් කටයුත්තෙක්ද වේ.
5. 2. 4. 5.
අක්ඛම සූත්‍රය
සැවැත් නුවර නිදානයි
35. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ස්ථවිර භික්‍ෂු තෙම බ්‍රහ්මචාරීන්ට අප්‍රියයෙක්ද, අමනාපවූවෙක්ද, ගරු නොකටයුත්තෙක්ද, බුහුමන් නොකටයුත්තෙක්ද වේ. කවර පසකින්ද යත්,
රූපයන් නොඉවසන්නේ වේද, ශබ්දයන් නොඉවසන්නේ වේද, ගන්‍ධයන් නොඉවසන්නේ වේද, රසයන් නොඉවසන්නේ වේද, ස්පර්‍ශ කළ යුත්තන් නොඉවසන්නේ වේද, යන පසිනි. මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ස්ථවිර භික්‍ෂු තෙම බ්‍රහ්මචාරීන්ට අප්‍රියයෙක්ද, අමනාපවූවෙක්ද, ගරු නොකටයුත්තෙක්ද, බුහුමන් නොකටයුත්තෙක්ද වේ.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ස්ථවිර භික්‍ෂු තෙම බ්‍රහ්මචාරීන්ට ප්‍රියවූවෙක්ද, මනාපවූවෙක්ද, ගරු කටයුත්තෙක්ද, බුහුමන් කටයුත්තෙක්ද වේ. කවර පසකින්ද යත්?
රූපයන් ඉවසන්නේ වේද, ශබ්දයන් ඉවසන්නේ වේද, ගන්‍ධයන් ඉවසන්නේ වේද, රසයන් ඉවසන්නේ වේද, ස්පර්‍ශ කළ යුත්තන් ඉවසන්නේ වේද, යන පසිනි. මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ස්ථවිර භික්‍ෂු තෙම බ්‍රහ්මචාරීන්ට ප්‍රියවූවෙක්ද, මනාපවූවෙක්ද, ගරු කටයුත්තෙක්ද, බුහුමන් කටයුත්තෙක්ද වේ.
5. 2. 4. 6.
පටිසම්භිදා සූත්‍රය
සැවැත් නුවර නිදානයි
36. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ස්ථවිර භික්‍ෂු තෙම බ්‍රහ්මචාරීන්ට ප්‍රියවූවෙක්ද, මනාපවූවෙක්ද, ගරු කටයුත්තෙක්ද, බුහුමන් කටයුත්තෙක්ද වේ. කවර පසකින්ද යත්?
අර්ත්‍ථ ප්‍රතිසම්භිදාවට පැමිණියේ වේද, ධර්‍ම ප්‍රතිසම්භිදාවට පැමිණියේ වේද, නිරුක්ති ප්‍රතිසම්භිදාවට පැමිණියේ වේද, ප්‍රතිභාණ ප්‍රතිසම්භිදාවට පැමිණියේ වේද, යම් ඒ සබ්‍රම්සරුන්ගේ කුදු මහත් පිළිවිස කටයුතු වෙද්ද, එහි දක්‍ෂයෙක්, අලස නුවූවෙක් වේද, එහි උපායවූ විමසන නුවණින් යුක්තවූයේ, කරන්ට සුදුස්සෙක්, සංවිධාන කරන්ට සුදුස්සෙක් වේද, යන මේ පසිනි.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ස්ථවිර භික්‍ෂු තෙම බ්‍රහ්මචාරීන්ට ප්‍රියවූවෙක්ද, මනාපවූවෙක්ද, ගරු කටයුත්තෙක්ද, බුහුමන් කටයුත්තෙක්ද වේ.