5. 2. 4. 5.
අක්ඛම සූත්රය
සැවැත් නුවර නිදානයි
35. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ස්ථවිර භික්ෂු තෙම බ්රහ්මචාරීන්ට අප්රියයෙක්ද, අමනාපවූවෙක්ද, ගරු නොකටයුත්තෙක්ද, බුහුමන් නොකටයුත්තෙක්ද වේ. කවර පසකින්ද යත්,
රූපයන් නොඉවසන්නේ වේද, ශබ්දයන් නොඉවසන්නේ වේද, ගන්ධයන් නොඉවසන්නේ වේද, රසයන් නොඉවසන්නේ වේද, ස්පර්ශ කළ යුත්තන් නොඉවසන්නේ වේද, යන පසිනි. මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ස්ථවිර භික්ෂු තෙම බ්රහ්මචාරීන්ට අප්රියයෙක්ද, අමනාපවූවෙක්ද, ගරු නොකටයුත්තෙක්ද, බුහුමන් නොකටයුත්තෙක්ද වේ.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ස්ථවිර භික්ෂු තෙම බ්රහ්මචාරීන්ට ප්රියවූවෙක්ද, මනාපවූවෙක්ද, ගරු කටයුත්තෙක්ද, බුහුමන් කටයුත්තෙක්ද වේ. කවර පසකින්ද යත්?
රූපයන් ඉවසන්නේ වේද, ශබ්දයන් ඉවසන්නේ වේද, ගන්ධයන් ඉවසන්නේ වේද, රසයන් ඉවසන්නේ වේද, ස්පර්ශ කළ යුත්තන් ඉවසන්නේ වේද, යන පසිනි. මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ස්ථවිර භික්ෂු තෙම බ්රහ්මචාරීන්ට ප්රියවූවෙක්ද, මනාපවූවෙක්ද, ගරු කටයුත්තෙක්ද, බුහුමන් කටයුත්තෙක්ද වේ.
5. 2. 4. 6.
පටිසම්භිදා සූත්රය
සැවැත් නුවර නිදානයි
36. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ස්ථවිර භික්ෂු තෙම බ්රහ්මචාරීන්ට ප්රියවූවෙක්ද, මනාපවූවෙක්ද, ගරු කටයුත්තෙක්ද, බුහුමන් කටයුත්තෙක්ද වේ. කවර පසකින්ද යත්?
අර්ත්ථ ප්රතිසම්භිදාවට පැමිණියේ වේද, ධර්ම ප්රතිසම්භිදාවට පැමිණියේ වේද, නිරුක්ති ප්රතිසම්භිදාවට පැමිණියේ වේද, ප්රතිභාණ ප්රතිසම්භිදාවට පැමිණියේ වේද, යම් ඒ සබ්රම්සරුන්ගේ කුදු මහත් පිළිවිස කටයුතු වෙද්ද, එහි දක්ෂයෙක්, අලස නුවූවෙක් වේද, එහි උපායවූ විමසන නුවණින් යුක්තවූයේ, කරන්ට සුදුස්සෙක්, සංවිධාන කරන්ට සුදුස්සෙක් වේද, යන මේ පසිනි.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ස්ථවිර භික්ෂු තෙම බ්රහ්මචාරීන්ට ප්රියවූවෙක්ද, මනාපවූවෙක්ද, ගරු කටයුත්තෙක්ද, බුහුමන් කටයුත්තෙක්ද වේ.
5. 2. 4. 7.
සීල සූත්රය
සැවැත් නුවර නිදානයි
37. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ස්ථවිර භික්ෂු තෙම බ්රහ්මචාරීන්ට ප්රියවූවෙක්ද, මනාපවූවෙක්ද, ගරු කටයුත්තෙක්ද, බුහුමන් කටයුත්තෙක්ද වේ. කවර පසකින්ද යත්:
සිල්වත්වූයේ, ප්රාතිමොක්ෂ සංවරයෙන් යුක්තවූයේ වේද, ආචාරයෙන් හා ගොචරයෙන් යුක්තවූයේ, ස්වල්ප තරම් වරදවල භය දක්නා ගති ඇතුව වාසය කෙරේද, ශික්ෂාපදයන්හි සමාදන්ව හික්මේද, බහුශ්රුතවූයේ, ඇසූ දෙය දරන්නේ, අසන ලද්දවුන්ගේ රැස් කිරීම ඇත්තේ වේද, මුල යහපත්වූ, මැද යහපත්වූ, කෙළවර යහපත්වූ, අර්ත්ථ සහිතවූ, ව්යඤ්ජන සහිතවූ, යම් ඒ ධර්මයෝ සියල්ලෙන් සම්පූර්ණවූ. පිරිසිදුවූ බ්රහ්මචර්ය්යාව ප්රකාශ කරද්ද, එබඳු ධර්මයෝ මොහු විසින් බොහෝකොට අසන ලද්දාහු, සිතින් දරණ ලද්දාහු, වචනයෙන් පුරුදු කරණ ලද්දාහු, සිතින් සළකා බලන ලද්දාහු, දෘෂ්ටියෙන් මනාව අවබෝධ කරණ ලද්දාහු වෙද්ද, යහපත් වචන ඇත්තේ, යහපත් කථා කිරීම ඇත්තේ වේද, මනොඥවූ, කෙලතොලුනුවූ, අර්ත්ථය හැඟවීම ඇත්තාවූ, පුරවැසි වචනයෙන් යුක්තවූයේ වේද, කුශල් සිත සම්බන්ධවූ, මේ ආත්මයෙහි සැප විහරණ ඇත්තාවූ, චතුර්විධ ධ්යානයන්ගේ කැමති පරිදි ලැබීම ඇත්තෙක්, නිදුකින් ලැබීම ඇත්තෙක්, පහසුවෙන් ලැබීම ඇත්තෙක් වේද, ආශ්රවයන්ගේ ක්ෂය කිරීමෙන් ආශ්රව රහිතවූ චිත්ත විමුක්තියටද, ප්රඥා විමුක්තියටද, මේ ආත්මයෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂකොට පැමිණ වාසය කෙරේද යන පසිනි.
“මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ස්ථවිර භික්ෂු තෙම බ්රහ්මචාරීන්ට ප්රියවූවෙක්ද, මනාපවූවෙක්ද, ගරු කටයුත්තෙක්ද, බුහුමන් කටයුත්තෙක්ද වේ.
5. 2. 4. 8.
ථෙර සූත්රය
සැවැත් නුවර නිදානයි
38. “මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ස්ථවිර භික්ෂු තෙම බොහෝ දෙනාට අහිත පිණිස, බොහෝ දෙනාට නොසැප පිණිස, බොහෝ දෙනාට අවැඩ පිණිස, දෙව්මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස පිළිපන්නේ වේ. කවර පසකින්ද යත්?
ස්ථවිර තෙම බොහෝ කල් දන්නේ පැවිදිවූ බොහෝ කල් ඇත්තේ වේද, ප්රකටවූයේ, යස පිරිවර ඇත්තේ, ගෘහස්ත ප්රව්රජිතයන්ගෙන් බොහෝ දෙනා පිරිවරකොට ඇත්තේද, චීවරය, පිණ්ඩපාතය, ශයනාසනය, ගිලන්පස, බෙහෙත් පිරිකර යන මොවුන් සම්බන්ධ ලැබීම් ඇත්තෙක් වේද, බහුශ්රුතවූයේ, ඇසූ දෙය දරන්නේ, අසන ලද්දවුන්ගේ රැස් කිරීම ඇත්තේ වේද, මුල යහපත්වූ, මැද යහපත්වූ, කෙළවර යහපත්වූ, අර්ත්ථ සහිතවූ, ව්යඤ්ජන සහිතවූ, යම් ඒ ධර්මයෝ සියල්ලෙන් සම්පූර්ණවූ. පිරිසිදුවූ බ්රහ්මචර්ය්යාව ප්රකාශ කරද්ද, එබඳු ධර්මයෝ මොහු විසින් බොහෝකොට අසන ලද්දාහු, සිතින් දරණ ලද්දාහු, වචනයෙන් පුරුදු කරණ ලද්දාහු, සිතින් සළකා බලන ලද්දාහු, දෘෂ්ටියෙන් මනාව අවබෝධ කරණ ලද්දාහු වෙද්ද, පෙරලුනාවූ දැකුම් ඇති මිත්යාදෘෂ්ටිකයෙක් වේද, හෙතෙම බොහෝ දෙනා සද්ධර්මයෙන් නැගිටුවා අසද්ධර්මයෙහි පිහිටුවාද, ස්ථවිර භික්ෂු තෙම චිරකල් දන්නේ පැවිදිවූ බොහෝ කල් ඇත්තේයයිද, මොහුගේ දෘෂ්ටානුගතියට පැමිණෙත්. ප්රකටවූ ස්ථවිර භික්ෂු තෙම යශස් ඇත්තේ ගෘහස්ත ප්රව්රජිතයන්ගෙන් බොහෝ දෙනා පිරිවරකොට ඇත්තේ යයිද, මොහුගේ දෘෂ්ටානු ගතියට පැමිණෙත්. ස්ථවිර භික්ෂු තෙම චීවරය, පිණ්ඩපාතය, ශයනාසනය, ගිලන්පස, බෙහෙත් පිරිකර යන මොවුන් සම්බන්ධව ලැබීම් ඇත්තේයයිද, මොහුගේ දෘෂ්ටානු ගතියට පැමිණෙත්. ස්ථවිර භික්ෂු තෙම බහුශ්රුතවූයේ, ඇසූ දෙය දරන්නේ, අසන ලද්දවුන්ගේ රැස්කිරීම් ඇත්තේයයිද, මොහුගේ දෘෂ්ටානුගතියට පැමිණෙත් යන මේ පසිනි.