4. 3. 2. 7.
[ආරක්ඛසුත්තං]
117. “මහණෙනි, සතර කාරණයෙක්හි තමහට හිත කැමැත්තා විසින් සිහියෙන් යුත් සිතින් අප්රමාදය ආරක්ෂාව කටයුතුය. කවර සතරෙක්හිද යත්.
‘ඇලුම් කටයුතු ධර්මයන්හි මගේ සිත නොඇලේවා’ යි තමහට වැඩ කැමැත්තා විසින් සිහියෙන් යුත් සිතින් අප්රමාදව ආරක්ෂා කටයුතුය.
‘ද්වේෂ කටයුතු ධර්මයන්හි මගේ සිත ද්වේෂ නොවේවා’ යි තමහට වැඩ කැමැත්තා විසින් සිහියෙන් යුත් සිතින් අප්රමාදව ආරක්ෂාව කටයුතුයි.
‘මුළාවියයුතු ධර්මයන් කෙරෙහි මාගේ සිත මුළා නොවේවා’ යි තමහට වැඩ කැමැත්තා විසින් සිහියෙන් යුත් සිතින් අප්රමාදව ආරක්ෂා කටයුතුයි.
‘මදයට පැමිණිය යුතු ධර්මයන්හි මාගේ මදයට නොපැමිණේවා’ යි තමහට වැඩ කැමැත්තා විසින් සිහියෙන් යුත් සිතින් අප්රමාදව ආරක්ෂාව ඇතිකළ යුතුයි.
“මහණෙනි, යම් තැනක පටන් මහණහට පහවූ රාග ඇති බැවින් ඇලුම් කටයුතු ධර්මයන් කෙරෙහි සිත නොඇලේද, පහවූ ද්වේෂ ඇති බැවින් ද්වේෂ කටයුතු ධර්මයන් කෙරෙහි ද්වේෂ නොකෙරේද, පහවූ මෝහ ඇති බැවින් මුළා වියයුතු ධර්මයන් කෙරෙහි සිත මුළා නොවේද, පහවූ මද ඇති බැවින් මත් වියයුතු ධර්මයන් කෙරෙහි සිත මදයට නොපැමිණෙයි. හෙතෙම දෘෂ්ටි වශයෙන් නොගනී. කම්පා නොවෙයි. නොවෙවුලයි. භයට නොපැමිණෙයි. ශ්රමණයන්ගේ වචන අනුව දෘෂ්ටි වශයෙන් නොයයි.”
4. 3. 2. 8.
[සංවෙජනීයසුත්තං]
118. “මහණෙනි, ශ්රද්ධාවන්ත කුල පුත්රයාට දර්ශණීයවූ, සංවේග කටයුතුවූ මේ කරුණු සතරක් වෙත්. කවර සතරක්ද යත්,
මහණෙනි, මෙහි තථාගතයන් වහන්සේ උපන්නේයයි ශ්රද්ධාවන්ත කුල පුත්රයාට දර්ශණීයවූ, සංවේග කටයුතුවූ තැනකි.
මහණෙනි, තථාගතයන් වහන්සේ මෙහි නිරුත්තර සම්මා සම්බෝධියට පැමිණියේයයි ශ්රද්ධාවන්ත කුල පුත්රයාට දර්ශණීයවූ, සංවේග කටයුතුවූ තැනකි.
මහණෙනි, තථාගතයන් වහන්සේ මෙහි නිරුත්තර ධර්ම චක්රය පැවැත්වූහයි ශ්රද්ධාවන්ත කුල පුත්රයාට දර්ශණීයවූ, සංවේග කටයුතුවූ තැනකි.
මහණෙනි, මෙහි තථාගතයන් වහන්සේ අනුපදිශෙස නිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑවේයයි ශ්රද්ධාවන්ත කුල පුත්රයාට දර්ශණීයවූ, සංවේග කටයුතුවූ තැනකි.
මහණෙනි, මේ සතර ශ්රද්ධාවන්ත කුල පුත්රයාට දර්ශණීයවූ, සංවේග කටයුතුවූ තැන්ය.”
4. 3. 2. 9.
[භයසුත්තං]
119. “මහණෙනි, මේ බිය සතරක් වෙත්. කවර සතරක්ද යත්, ජාති භය, ජරා භය, ව්යාධි භය, මරණ භය.
යන මේ සතර භයයි.”
4. 3. 2. 10.
[දුතියභයසුත්තං]
120. “මහණෙනි, මේ සතර බියක් වෙත්. කවර සතරක්ද යත්, ගිනි භය, දිය භය, රාජ භය, සොර භය.
යන සතර භයය.”
දොළොස්වෙනි කෙසී වර්ගය නිමි.
(13) 3. භය වර්ගය
4. 3. 3. 1.
1. අත්තානුවාද භය සූත්රය
[සැවැත් නුවර නිධාන කොට ඇත]
121. “මහණෙනි, මේ බිය සතරක් වෙත්. කවර සතරක්ද යත්. ආත්මානුවාද භය, පරානුවාද භය, දණ්ඩ භය, දුග්ගති භය යන සතරයි.
මහණෙනි, ආත්මානුවාද භය කවරේද? “මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක්, “මම වනාහි කයින් දුශ්චරිතයක හැසිරෙන්නෙම් නම්, වචනයෙන් දුශ්චරිතයක හැසිරෙන්නෙම් නම්, සිතින් දුශ්චරිතයක හැසිරෙන්නම් නම් “කිමෙක්ද, ‘ඒ මාගේ ආත්මය සීලයෙන් උපවාද නොකරන්නේදැ’ යි මෙසේ කල්පනා කරයි. හෙතෙම තමහට උපවාද පැමිණෙන බියෙන් බියවූයේ, කාය දුශ්චරිතය අත්හැර කාය සුචරිතය වඩයි. වාග් දුශ්චරිතය අත්හැර වාක් සුචරිතය වඩයි. මනො දුශ්චරිතය අත්හැර මනො සුචරිතය වඩයි. තමන් සුවසේ පරිහරණය කරයි. මහණෙනි, මේ ආත්මානුවාද භය යයි කියනු ලැබේ.
“මහණෙනි, පරානුවාද භය කවරේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක්, “මම වනාහි කයින් දුශ්චරිතයක හැසිරෙන්නෙම් නම්, වචනයෙන් දුශ්චරිතයක හැසිරෙන්නෙම් නම්, සිතින් දුශ්චරිතයක හැසිරෙන්නම් නම්, කිමෙක්ද, ඒ මා අන්යයන් සීලයෙන් උපවාද නොකරන්නාහුද, හෙතෙම අනුන්ගෙන් පැමිණෙන බියට බිය පත් වූයේ, කාය දුශ්චරිතය හැර කාය සුචරිතය වඩයි. වාක් දුශ්චරිතය හැර වාක් සුචරිතය වඩයි. මනො දුශ්චරිතය හැර මනො සුචරිතය වඩයි. පිරිසිදු ආත්මය පරිහරණය කරයි. මහණෙනි, මේ පරානුවාද භය යයි කියනු ලැබේ.