(12) 2. කෙසී වර්‍ගය
4. 3. 2. 1.
1. කෙසී සූත්‍රය
සැවැත් නුවර නිදානයි.
11. ඉක්බිති කෙසී නම් අශ්වයන් දමනය කරන්නා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත් පසෙක සිටියේය. එකත් පසෙක සිටි කෙසී නම් අශ්වයන් දමනය කරන්නාට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක:
“කෙසීය, ඔබ ප්‍රසිද්‍ධ අශ්වයන් දමනය කරන්නෙක් වෙහිය. ඔබ කෙසේ වනාහි දමනය කටයුතු අශ්වයන් හික්මවන්නෙහිදැ” යි.
“ස්වාමීනි, මම දමනය කළයුතු අශ්වයකු මෘදුකමින්ද, ඵරුෂකමින්ද, මෘදු ඵරුෂකමින්ද හික්මවමි.”
“කෙසිය, ඉදින් තොප විසින් දමනය කළ යුතු අශ්වයා මෘදු කමින් හික්මීමට නොපැමිණේද, ඵරුෂකමින්ද හික්මීමට නොපැමිණේද, මෘදු ඵරුෂකමින් හික්මීමට නොපැමිණේද, ඔහුට කුමක් කරන්නෙහිද?”
“ස්වාමීනි, ඉදින් මගේ දමනය කළ යුතු අශ්වයා මෘදුකමින් හික්මීමට නොපැමිණේද, ඵරුෂකමින් හික්මීමට නොපැමිණේද, මෘදුකමින් හා ඵරුෂකමින් හික්මීමට නොපැමිණේද, ස්වාමීනි, ඔහු නසමි. ඊට හේතු කවරේද? මාගේ ආචාර්‍ය්‍ය කුලයට අවනම්බුවක් නොවේවා කියායි.”
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ නිරුත්තර පුරුෂදම්මසාරථී සේක. කෙසේ වනාහි ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ දමනය කළ යුතු පුරුෂයන් හික්මවන්නේද?”
“කෙසිය, මම දමනය කළ යුතු පුරුෂයන් මෘදු කමින්ද හික්මවමි. ඵරුෂකමින්ද හික්මවමි. මෘදු ඵරුෂකමින්ද හික්මවමි. කෙසිය, එහි මෘදුකම මෙසේය: කාය සුචරිතය මෙසේය, කාය සුචරිතයාගේ විපාකය මෙසේය, වචී සුචරිතය මෙසේය, වචී සුචරිතයාගේ විපාකය මෙසේය, මනො සුචරිතය මෙසේය, මනො සුචරිතයාගේ විපාකය මෙසේය, දෙවියෝ මෙසේය, මනුෂ්‍යයෝ මෙසේය.”
“කෙසිය, එහි ඵරුෂකම මෙසේය: කාය දුෂ්චරිතය මෙසේය. කාය දුශ්චරිතයාගේ විපාකය මෙසේයි. වාග් දුෂ්චරිතය මෙසේයි. වාග් දුශ්චරිතයාගේ විපාකය මෙසේයි. මනො දුෂ්චරිතය මෙසේයි. මනො දුශ්චරිතයාගේ විපාකය මෙසේයි. නිරය මෙසේයි. තිරිසන් යොනිය මෙසේය. ප්‍රේත නිකාය මෙසේය.”
“කෙසීය, එහි මෘදුකම හා ඵරුෂ කමය මෙසේය: කාය සුචරිතය මෙසේය. කාය සුචරිතයාගේ විපාකය මෙසේය. කාය දුෂ්චරිතය මෙසේය. කාය දුශ්චරිතයාගේ විපාකය මෙසේය. වාග් සුචරිතය මෙසේය. වාග් සුචරිතයා ගේ විපාකය මෙසේය. වාග් දුෂ්චරිතය මෙසේය. වාග් දුශ්චරිතයාගේ විපාකය මෙසේය. මනො සුචරිතය මෙසේය. මනො සුචරිතයාගේ විපාකය මෙසේය. මනො දුෂ්චරිතය මෙසේය. මනො දුශ්චරිතයාගේ විපාකය මෙසේය. දෙවියෝ මෙසේය, මනුෂ්‍යයෝ මෙසේය, නරකය මෙසේය, තිරිසන් යෝනිය මෙසේය, ප්‍රෙත යෝනිය මෙසේය.”
“ස්වාමීනි, ඉදින් ඔබ වහන්සේගේ දමනය කළ යුතු පුරුෂයා මෘදුකමින් හික්මීමට නොපැමිණේද, ඵරුෂකමින් හික්මීමට නොපැමිණේද, මෘදු ඵරුෂකමින් හික්මීමට නොපැමිණේද, භාග්‍යවතුන් වහන්සේ ඔහුට කුමක් කරන්නේද?”
“කෙසිය, ඉදින් මගේ දමනය කළ යුතු පුරුෂයා මෘදු කමින් හික්මීමට නොයයිද, ඵරුෂකමින් හික්මීමට නොයයිද, මෘදුකමින් හා ඵරුෂකමින් හික්මීමට නොයයිද, කෙසිය, ඔහු නසමි.”
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේට සතුන් මැරීම නොකැප නොවේද? එසේ වී නමුත් භාග්‍යවතුන් වහන්සේ: ‘කෙසිය, මම ඔහු නසමි’ යි වදාළ සේක.”
“කෙසිය, සත්‍යය. භාග්‍යවත්හට සතුන් මැරීම අකැපය. එසේ නමුදු දමනය කළ යුතු ඒ පුරුෂ තෙම මෘදුකමින් හික්මීමට නොයයිද, ඵරුෂකමින් හික්මීමට නොයයිද, මෘදුකමින් හා ඵරුෂකමින් හික්මීමට නොයයිද, තථාගතයන් වහන්සේ ඔහු කිවයුතුකොට, අනුශාසනා කළ යුතු කොට නොහඟියි. නුවණැති සබ්‍රම්සරුන් කිවයුතු කොට, අනුශාසනා කළ යුතු කොට නොසිතත්ද, යමෙක් තථාගතයන් වහන්සේ කිවයුතු කොට, අනුශාසනා කළ යුතු කොට නොසිතයිද, නුවණැති සබ්‍රම්සරුන් කිවයුතු කොට, අනුශාසනා කළ යුතු කොට නොසිතත්ද, කේසිය, මෝ තොමෝ ආර්‍ය්‍ය විනයෙහි වධය.”
“යමෙකු තථාගතයන් වහන්සේ කිවයුතු කොට, අනුශාසනා කළ යුතු කොට නොසිතත්ද, නුවණැති සබ්‍රහ්මචාරීහු කිවයුතු කොට, අනුශාසනා කළ යුතු කොට නොසිතත්ද, ස්වාමීනි, හෙතෙම ඒකාන්තයෙන් වධයට පැමිණියෙක් වේ.”
“භවත් ගෞතමයන් වහන්ස, ඉතා යහපති. භවත් ගෞතමයන් වහන්ස, යම් සේ යටිකුරු කරණ ලද්දක් උඩුකුරු කරන්නේද, වැසුණු දෙයක් විවෘත කරන්නේද, මංමුලා වූවෙකුට මාර්ගය කියන්නේද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි අඳුරෙහි තෙල් පහනක් දරන්නේද, එසේම භවත් ගෞතමයන් වහන්සේ විසින් අනේක ප්‍රකාරයෙන් ධර්මය ප්‍රකාශ කරණ ලදී. ඒ මම භවත් ගෞතමයන් වහන්සේ සරණ යමි. ධර්මයද, භික්‍ෂු සංඝයාද සරණ යමි. අද සිට දිවි හිම් කොට සරණ ගිය උපාසකයකු කොට භවත් ගෞතමයන් වහන්සේ මා දරාවා.”
4. 3. 2. 2.
2. අජ්ජව සූත්‍රය
12. “මහණෙනි, අඞ්ග සතරකින් යුත් රජහුගේ යහපත් ආජානෙය අශ්වයා රජුට සුදුසුවේ. රාජභොගය රජුට අග්‍රය යන සංඛ්‍යාවට යයි.”
“කවර සතරකින්ද යත්? ඎජු බැවින්ද, පාදවේගයෙන්ද, ඉවසීමෙන්ද, පිරිසිදු ස්වභාවයෙන්ද,”
“මහණෙනි, මේ සතර අඞ්ගයෙන් යුත් රජහුගේ යහපත් ආජානෙය අශ්වයා රජුට සුදුසු වේ. රාජභොගවේ. රජුට අග්‍රය යන සංඛ්‍යාවට යේ.”
“මහණෙනි, එසේම අඞ්ග සතරකින් යුත් මහණ තෙම දුර සිට අවුත් පිදීමට යෝග්‍යවේ. ඈතට ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍ය වේ. දක්‍ෂිණාවට සුදුසු වේ. අංජලීකරණය හෙවත් දෑත් හිස තබා වැඳීමට යෝග්‍යවේ. ලෝකයාගේ නිරුත්තර පුන්‍යක්‍ෂෙත්‍රයය.”
“කවර සතරකින්ද යත්? උජුභාවයෙන්, ඤාණජවයෙන්, ඉවසීමෙන්, සිල්වත්කමින් යන සතරිනි.”
“මහණෙනි, මේ අඞ්ග සතරින් යුක්ත මහණ තෙම දුර සිට අවුත් පිදීමට යෝග්‍යවේ. ඈතට ගෙන යන දේ ගෙනවුත් පිදීමට යෝග්‍ය වේ. දක්‍ෂිණාවට සුදුසු වේ. අංජලීකරණය හෙවත් දෑත් හිස තබා වැඳීමට යෝග්‍යවේ. ලෝකයාගේ නිරුත්තර පුන්‍යක්‍ෂෙත්‍රය.”