4. 1. 1. 7.
7. සංඝ සොභක සූත්‍රය
7. “මහණෙනි, ව්‍යක්තවූ, විනීතවූ, විශාරදවූ, බහුශ්‍රුතවූ, ධර්මධරවූ, ධර්මානුධර්ම ප්‍රතිපත්තියෙහි පිළිපන් මේ පුද්ගලයෝ සතර දෙනෙක් සමූහය හොබවත්. කවර සතර දෙනෙක්ද යත්?
“මහණෙනි, ව්‍යක්තවූ, විනීතවූ, විශාරදවූ, බහුශ්‍රුතවූ, ධර්මධරවූ, ධර්මානුධර්ම ප්‍රතිපන්නවූ මහණතෙමේ භික්‍ෂු සංඝයා හොබවයි.
“මහණෙනි, ව්‍යක්තවූ, විනීතවූ, විශාරදවූ, බහුශ්‍රුතවූ, ධර්මධරවූ, ධර්මානුධර්ම ප්‍රතිපන්නවූ භික්‍ෂුණිය භික්‍ෂුණී සංඝයා හොබවයි.
“මහණෙනි, ව්‍යක්තවූ, විනීතවූ, විශාරදවූ, බහුශ්‍රුතවූ, ධර්මධරවූ, ධර්මානුධර්ම ප්‍රතිපන්නවූ උපාසක තෙමේ උපාසක සමූහය හොබවයි.
“මහණෙනි, ව්‍යක්තවූ, විනීතවූ, විශාරදවූ, බහුශ්‍රුතවූ, ධර්මධරවූ, ධර්මානුධර්ම ප්‍රතිපන්නවූ උපාසිකා තොමෝ උපාසිකා සමූහය හොබවයි.
“මහණෙනි, ව්‍යක්තවූ, විනීතවූ, විශාරදවූ, බහුශ්‍රුතවූ, ධර්මධරවූ, ධර්මානුධර්ම ප්‍රතිපන්නවූ මේ සතරදෙන සංඝයා හොබවත්යයි වදාළසේක.
“යමෙක් ව්‍යක්තවූයේද, විශාරදවූයේද, බහුශ්‍රුතවූයේද, ධර්මධර වූයේද, ධර්මයට අනුව හැසිරෙන්නේද, එබඳුවූ හෙතෙම සංඝසෝභන පුද්ගලයායයි කියනු ලැබේ.
සීලසම්පන්න භික්‍ෂුවද, බහුශ්‍රුත භික්‍ෂුණියද, ශ්‍රද්‍ධාවන්ත යම් උපාසකයෙක් ඇද්ද, මොවුහු සමූහය හොබවත්. මොවුහු සංඝ සෝභනයෝයි.”
4. 1. 1. 8.
8. චතුවෙසාරජ්ජ සූත්‍රය
8. “මහණෙනි, යම් විශාරද බවකින් යුක්ත තථාගතයන් වහන්සේ උත්තම ස්ථානය ප්‍රතිඥා කෙරෙත්ද, පිරිසෙහි සිංහනාද කරයිද, ධර්ම චක්‍රය පවත්වයිද, තථාගතයන් වහන්සේගේ මේ විශාරද බැව් සතරක් වෙති. කවර සතරක්ද යත්?
“සම්‍යක් සම්බුද්‍ධභාවය ප්‍රතිඥා කරන්නාවූ මට, ‘නුඹ වහන්සේ විසින් මේ ධර්මයෝ අවබෝධ නොකරණ ලදැ’ යි ඒකාන්තයෙන් ඒ කරුණෙහිලා ශ්‍රමණයෙක් හෝ, බ්‍රාහ්මණයෙක් හෝ, දෙවියෙක් හෝ, මාරයෙක් හෝ, බ්‍රහ්මයෙක් හෝ, ලෝකයෙහි කිසිවෙක් කරුණු සහිතව පෙරලා චෝදනා කරන්නේද, මහණෙනි, එබඳු පුද්ගලයෙකු නොදකිමි. මහණෙනි, එබඳු කෙනෙකු නොදක්නාවූ මම, ක්‍ෂෙම බවට පැමිණ, නිර්භය බවට පැමිණ, විශාරද බවට පැමිණ වෙසෙමි.
“තොපට ක්‍ෂීණාශ්‍රව බව ප්‍රතිඥා කරන්නාවූ මට, ‘මේ ආශ්‍රවයෝ ක්‍ෂය නොවූහ’ ඒකාන්තයෙන් ඒ කරුණෙහිලා ශ්‍රමණයෙක් හෝ, බ්‍රාහ්මණයෙක් හෝ, දෙවියෙක් හෝ, මාරයෙක් හෝ, බ්‍රහ්මයෙක් හෝ, ලෝකයෙහි කිසිවෙක් කරුණු සහිතව චෝදනා කරන්නේද, මහණෙනි, එබඳු පුද්ගලයෙකු නොදකිමි. මහණෙනි, එබඳු කෙනෙකු නොදක්නාවූ මම, ක්‍ෂෙම බවට පැමිණ, නිර්භය බවට පැමිණ, විශාරද බවට පැමිණ වෙසෙමි.
“තොපට මාර්‍ග ඵලයන්ට අන්තරායකරවූ ධර්ම කෙනෙක් වදාරණ ලද්දාහුද, ‘ඔවුන් සේවනය කරන්නාහට අන්තරායකර නොවේය’ යි මට ඒකාන්තයෙන් ඒ කරුණෙහිලා ශ්‍රමණයෙක් හෝ, බ්‍රාහ්මණයෙක් හෝ, දෙවියෙක් හෝ, මාරයෙක් හෝ, බ්‍රහ්මයෙක් හෝ, ලෝකයෙහි කිසිවෙක් කරුණු සහිතව පෙරලා චෝදනා කරන්නේද, මහණෙනි, එබන්දෙකු නොදකිමි. මහණෙනි, එබන්දෙකු නොදක්නාවූ මම, ක්‍ෂෙම බවට පැමිණ, නිර්භය බවට පැමිණ, විශාරද බවට පැමිණ වෙසෙමි.
“තොපට තොපට යමක් උදෙසා ධර්මය දේශනා කරණ ලද්දේද, ‘ඒ ධර්මය ඒ අනුව වැඩ කරන්නහුට මනාකොට දුක් කෙළවර කිරීම පිණිස නොපවතීයයි මේ කරුණෙහිලා මට ඒකාන්තයෙන් ශ්‍රමණයෙක් හෝ, බ්‍රාහ්මණයෙක් හෝ, දෙවියෙක් හෝ, මාරයෙක් හෝ, බ්‍රහ්මයෙක් හෝ, ලෝකයෙහි කිසිවෙක් කරුණු සහිතව චෝදනා කරන්නේද, මහණෙනි, එබන්දකු නොදකිමි. මහණෙනි, එබන්දකු නොදක්නාවූ මම, ක්‍ෂෙම බවට පැමිණ, නිර්භය බවට පැමිණ, විශාරද බවට පැමිණ වෙසෙමි.