1. භණ්ඩගාම වර්ගය
නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස
4. 1. 1. 1.
[අනුබෝධ සූත්රය]
1. මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි භාග්යවතුන් වහන්සේ වැදෑරට භණ්ඩ ග්රාමයේ වාසය කරණ සේක. එහිදී වනාහි භාග්යවතුන් වහන්සේ, “මහණෙනි” යි කියා භික්ෂූන්ට ආමන්ත්රණය කළ සේක. ඒ භික්ෂූහු, “පින්වතුන් වහන්සැ,” යි භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්යවතුන් වහන්සේ, “මහණෙනි, ධර්ම සතරක් නොදැනීමෙන්, ප්රතිවේධ නොකිරීමෙන්, මෙසේ මාද, තොපද මේ දීර්ඝ කාලය (සසර) දුවන ලදී. හැසිරෙන ලදී. කවර ධර්ම සතරක්ද යත්?
චතුන්නං භික්ඛවෙ, ධම්මානං අනනුබොධා අප්පටිවෙධා එවමිදං දීඝමද්ධානං සන්ධාවිතං සංසරිතං මමඤ්චෙව තුම්හාකඤ්ච. කතමෙසං චතුන්නං?
“මහණෙනි, ආර්ය්ය ශීලය නොදැනීමෙන්, ප්රතිවේධ නොකිරීමෙන්, මෙසේ මාද, තොපද මේ දීර්ඝ කාලය සසර දුවන ලදී. හැසිරෙන ලදී.
මහණෙනි, ආර්ය්ය සමාධිය නොදැනීමෙන්, ප්රතිවේධ නොකිරීමෙන්, මෙසේ මාද, තොපද මේ දීර්ඝ කාලය සසර දුවන ලදී. හැසිරෙන ලදී.
මහණෙනි, ආර්ය්ය ප්රඥාව නොදැනීමෙන්, ප්රතිවේධ නොකිරීමෙන්, මෙසේ මාද, තොපද මේ දීර්ඝ කාලය සසර දුවන ලදී. හැසිරෙන ලදී.
මහණෙනි, ආර්ය්ය විමුක්තිය නොදැනීමෙන්, ප්රතිවේධ නොකිරීමෙන්, මෙසේ මාද, තොපද මේ දීර්ඝ කාලය සසර දුවන ලදී. හැසිරෙන ලදී.”
“ඒ ආර්ය්ය ශීලය මා විසින් දැනගන්නා ලදී. ප්රතිවේධ කරණ ලදී. ආර්ය්ය සමාධිය මා විසින් දැනගන්නා ලදී. ප්රතිවේධ කරණ ලදී. ආර්ය්ය ප්රඥාව මා විසින් දැනගන්නා ලදී. ප්රතිවේධ කරණ ලදී. ආර්ය්ය විමුක්තිය (අර්හත් ඵලය) මා විසින් දැනගන්නා ලදී. ප්රතිවේධ කරණ ලදී. භව තෘෂ්ණාව මුලින්ම සිඳින ලදී. භව නෙත්තිය (භව රැහැන) ක්ෂය විය. දැන් පුනර්භවයක් නැතැයි වදාළ සේක.
භාග්යවතුන් වහන්සේ මෙය දෙසා මෙසේත් වදාළ සේක.”
1. “ලෝකෝත්තරවූ ශීලයද, සමාධියද, ප්රඥාවද, අර්හත් ඵලයද යන මේ ධර්මයෝ, යසස් ඇත්තාවූ ගෞතමයන් වහන්සේ විසින් දැනගන්නා ලදී.
2. මෙසේ බුදුරජානන් වහන්සේ විසින් විශිෂ්ට ඥානයෙන් දැන භික්ෂූන්ට ධර්මය දේශනා කරණ ලදී. පසැස් ඇති වෘත්ත දුඃඛය කෙළවර කළ ශාස්තෲන් වහන්සේ ක්ලේශ පරිනිර්වාණයෙන් පිරිනිවි සේක.”
4. 1. 1. 2.
[පපතිත සූත්රය]
[සැවැත් නුවර නිදානයයි]
2. “මහණෙනි, ධර්ම සතරකින් යුක්තවූ තැනැත්තේ මේ ධර්ම විනයෙන් චුතවූයේ වේ. කවර කරුණු සතරකින්ද යත්?
“මහණෙනි, ආර්ය්ය ශීලයෙන් යුක්ත නුවූයේ, මේ ධර්ම විනයෙන් චුතවූයේ වෙයි.
මහණෙනි, ආර්ය්ය සමාධියෙන් යුක්ත නුවූයේ, මේ ධර්ම විනයෙන් චුතවූයේ වෙයි.
මහණෙනි, ආර්ය්ය ප්රඥාවෙන් යුක්ත නුවූයේ, මේ ධර්ම විනයෙන් චුතවූයේ වෙයි.
මහණෙනි, ආර්ය්ය විමුක්තියෙන් (අර්හත් ඵලයෙන්) යුක්ත නුවූයේ, මේ ධර්ම විනයෙන් චුතවූයේ වෙයි.
“මහණෙනි, මේ ධර්ම සතරින් යුක්ත නුවූයේ මේ ධර්ම විනයෙන් වැටුනේය, චුතවූයේය” යි කියනු ලැබේ.
“මහණෙනි, ධර්ම සතරකින් යුක්තවූයේ මේ ධර්ම විනයෙන් නොවැටුනේ යයි කියනු ලැබේ. කවර සතර දෙනෙකුගෙන්ද යත්?
“මහණෙනි, ආර්ය්ය ශීලයෙන් යුක්ත වූයේ, මේ ධර්ම විනයෙන් නොවැටුනේ වෙයි.
මහණෙනි, ආර්ය්ය සමාධියෙන් යුක්ත වූයේ, මේ ධර්ම විනයෙන් නොවැටුනේ වෙයි.
මහණෙනි, ආර්ය්ය ප්රඥාවෙන් යුක්ත වූයේ, මේ ධර්ම විනයෙන් නොවැටුනේ වෙයි.